2
ගාසා තීරයේ සටන් විරාමයේ පළමු අදියර නිමාවට පත්වීමත් සමඟ ලොව පුරා ඉස්ලාම් බැතිමතුන්ගේ පූජනීය රමලාන් උපවාස සමය පෙරේදා ආරම්භ විය. සති 6ක් පුරා පැවැති සටන් විරාම ගිවිසුමට අනුව එම කාලය තුළ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථවලට ගාසා තීරයට ඇතුළුවීමට ඊශ්‍රායල හමුදාවෙන් අවසර ලැබුණු බැවින් මෙවර රමසාන් උපවාස සමය පසුගිය වසරට වඩා පලස්තීනුවන්ට ප්‍රීතිමත් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. සටන් විරාම ගිවිසුමට අනුකූලව හමාස් සංවිධානය විසින් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමෙන් පසුව ඊශ්‍රායල රජය එරට සිරගත කර සිටි දෙදහසට ආසන්න පලස්තීනුවන් නිදහස් කිරීම හේතුවෙන් මෙවර රමලාන් උපවාස සමය ගාසා තීරයේ ජනතාවගේ ප්‍රිතිය දෙගුණ කරවීමට සමත්වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වසර 2023 ඔක්තෝබර් මස 7 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට කඩා වැදී පුද්ගලයන් 1,200ක් ඝාතනයට ලක් කරමින් තවත් පුද්ගලයන් 251 දෙනකු ප්‍රාණ ඇපයට ගැනීමත් සමඟ ආරම්භ වූ ගාසා තීරයේ යුද්ධයට මේ වනවිට මාස 16ක් ගතවී ඇති අතර, එම කාලය තුළ ඊශ්‍රායල හමුදාව විසින් සිදු කරනු ලැබූ ප්‍රහාර හේතුවෙන් විනාශ වූ නිවාස සහ ගොඩනැඟිලි තුළ විදුලිය අහිමි පරිසරය තුළ පලස්තීනුවන් සිය රමලාන් උපවාසය ආරම්භ කළ බව වාර්තා වේ.