26
අපි කිව්වේ මේ ප්‍රතිසංස්කරණ මාස හයකින් කරන ලෙසයි. මෛත්‍රීපාල මහතා ඇතුළු පිරිස කිව්වා මාස තුනෙන් මේ දේවල් කරන බව. මාස තුනෙන් නෙවෙයි, දින දෙකෙන් කරනවා නම් ඒත් අපි කැමැතියි. දැන් ජනතාවට පොරොන්දු වූ පරිදි මාස තුනෙන් මේ දේවල් කරන්න. මීළඟ මැතිවරණය තියන්න ඕනෑ පරණ ක්‍රමය යටතේ නොවෙයි. කාලය මදි කියා හරියන්නේ නැහැ. පොදු අපේක්ෂකයකු සොයන වැඩසටහනේදී මට මරණීය තර්ජන පවා එල්ල වුණා.”
මෙසේ පැවසුවේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. ඒ 2015 වසරේ දීය. උන් වහන්සේ 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කිරීමටත් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරවීමටත් කැපී පෙනෙන භූමිකාවක් ඉටු කළ යතිවරයෙකි.
“සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය”වැනි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පළමු සාකච්ඡාව 2010 වසරේදී පවත්වන ලදි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය” බිහිවීමේ පළමු සාකච්ඡාවේ සිටම එය 2014 මැදභාගය දක්වා කටයුතු කළේ යෝජනාවලියක් සමාජගත කරවීමේ මුඛ්‍ය පරමාර්ථයෙනි.
මුල්කාලීනව එතරම් ජනතා අවධානයක් දිනා නොගන්නා සෝභිත හාමුදුරුවෝ, 2014 වසර වන විට යම් අවධානයකට ලක් වෙමින් සක්‍රිය තලයට පැමිණීමට සමත් වූහ. නමුත් එම ව්‍යාපාරය තුළ එක් එක් මතයන් පළ වූ අතර එක් පිරිසකගේ මතය වූයේ සෝභිත හිමියන් පොදු අපේක්ෂක ලෙස 2015 ජනාධිපතිවරණය සඳහා තරග කළ යුතු බවය. ඊට හේතුව ලෙස එම පිරිස සඳහන් කළේ සෝභිත හිමියන් පැවිදි භික්ෂුවක් වූ නිසාම වෙනත් කිසිදු අපේක්ෂාවකින් තොරව ජනපති ධුරය හොබවන්නට ඉඩ ඇති බව මෙන්ම නොබියව සටන් කළ හැකි හිමිනමක් වීම පිළිබඳ විශ්වාසයයි. එහෙත් ව්‍යාපාරයේ තවත් පිරිසක් මෙම මතයට විරුද්ධ වූහ. එම පිරිස පැවසුවේ පැවිදි හිමිනමක් ඊට නුසුදුසු බවත් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට නම් ආණ්ඩු පක්ෂයේම ප්‍රබලයකු තරගයට ඉදිරිපත් කළ යුතු බවය. මෙසේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය තුළ පරස්පර විරෝධී මතයන් දෝලනය විය.
ඒ සමඟම සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය තම ක්‍රියාකාරීත්වය තවතවත් සක්‍රිය තලයට රැගෙන එන අතර ඔවුහු නැවත පොදු අපේක්ෂක අදහස ප්‍රධාන තලයකට රැගෙන ඒමට ද කටයුතු කළහ. එවර ඔවුන් වැඩි අවධානයක් යොමු කරන්නේ එජාපයේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට එම පක්ෂයෙන්ම වෙනත් නායකයකු පොදු අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමටයි.
කරු ජයසූරිය, රවි කරුණානායක, සජිත් ප්‍රේමදාස වැනි බලවතුන් ඒ සඳහා යෝජනා වන නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ඒ කිසිවකට එකඟ වන්නේ නැත. මේ හේතුව නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සෝභිත හිමි නිර්මාණය කළ සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය අභියෝගයක් වන තත්ත්වයක් ගොඩනැඟෙන්ණේය. සැබැවින්ම එතැන් සිට එකී ව්‍යාපාරය මහින්ද විරෝධී ව්‍යාපාරයකට වඩා රනිල් විරෝධි ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වීම ඇරැඹෙන්නේය.
කෙසේ නමුත් රට පුරා ඉතා ශීඝ්‍රයෙන් සක්‍රිය වන මේ දේශපාලන ප්රවාහයන් තුළ තවදුරටත් නිහඬව සිටීමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ලැබෙන්නේ නැත. එසේම මහින්ද විරෝධී කණ්ඩායම් තුළ ද නැවත වතාවක් සෝභිත හිමියන් පොදු අපේක්ෂක තනතුරට සුදුසු යැයි පවසන විවේචනයට වැඩි අවධානයක් යොමු වන්නේය. එබැවින් වික්‍රමසිංහ මහතා තුළ තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා යැයි පැවසූ දැඩි අදහස ක්‍රමයෙන් වෙනස් වීම ඇරැඹෙන්නේය.
මේ සියල්ල අතරතුර හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලනික වශයෙන් සම්බන්ධ වීමට පටන් ගැනීම මේ සියලු සැලැසුම්වලට නව මුහුණුවරක් එක් කිරීමට සමත් වන්නේය. ඒ අනුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පමණක් නොව සෝභිත හිමි ඇතුළු රාජපක්ෂ විරෝධී පිරිස් ද කාලයාගේ ඇවෑමෙන් එක් ඉලක්කයක් වෙනුවෙන් කණ්ඩායමක් සේ එකට එකතුවීමයි.
2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කාර්යය සඳහා 2013 වසරේ ආරම්භයේ සිට පසුබිම් සකස් වන්නේ මෙයාකාරයෙනි.
මේ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එජාප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය, හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමි යන අයගේ තෝරාගැනීම වූයේ මහින්ද රාජපක්ෂ රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේනය මහතාය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්රීලනිපය අතහැර විරුද්ධ පක්ෂ සන්ධානය වෙතට පැමිණීම නිසා 2014 ඔක්තෝබර් මාසයේ පැවති දේශපාලන බලතුලනය, ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීමේ විකල්පයට වාසිදායක ලෙස මාරු විය. 2018 ජනවාරි 08 වැනි දින සිදු වූ ජනාධිපති මැතිවරණයේ දී දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ ව්‍යාපාර අතර පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගී තිබීමත්, එම සන්ධානයේ නියෝජිතයා වූ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත් ඒ මත ආණ්ඩු වෙනසක් ඇතිවීමත්, ලංකාවේ දේශපාලනයේ අධිකාරවාදී පරිවර්තනය ආපසු හැරවීමට අවශ්‍ය දේශපාලන අවකාශය විවෘත කළ සිදුවීම් විය.
2015 ජනාධිපතිවරණයේ දි මහින්ද රාජපක්ෂ මහතා, මෛත්‍රිපාල සිරිසේන මහතාට පරාජය විය. මෛත්‍රිපාල සිරිසේන මහතා ඡන්ද 6,217,162 ලබා ගත් අතර මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද 5,768,090 ලබා ගත්තේය. දිවුරුම් දුන් දිනයේ ඔහු ප්‍රකාශ කළේ තමා වසර පහක කාලයක් පමණක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට තීරණය කර ඇති බවයි. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා දින සියයේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් රටේ සංවර්ධන කටයුතු ව්‍යාප්ත කරන බවට පොරොන්දු විය. එහෙත් ඔහු පොරොන්දු වූ පරිදි සියල්ල කිරීමට නොහැකි විය. ඔහුගේ පාලන කාලයේ රටේ ආර්ථිකය ඉහළ නැංවුණේ නැත. විවිධ උද්ඝෝෂණ, වැඩ වර්ජන නිතර පැවතියේය. ජනාධිපති හා අගමැතිවරයා අතර පැවතියේ සීතල යුද්ධයකි. එය රටට හානිකර අයුරින් බලපෑවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ පැවති ජනප්රසාදය ද ක්‍රමයෙන් හීනවන්නට විය. දෙවැනි වරට තරග කිරීමට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොවුවද ඔහු යළි තරග නොකළේය. ඒ අනුව ස්ව කැමැත්තෙන් දෙවැනි ධුර කාලය සඳහා තරග නොකළ පළමු ජනාධිපතිවරයා ඔහු වනු ඇත.
මාදුළුවාවේ සෝභිත හිමියෝ 2015 නොවැම්බර් මස 08 වැනි දින අපවත් වූහ.මාදුළුවාවේ සෝභිත හිමියන්ගේත්,උන් වහන්සේ නායකත්වය දුන් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේත් අනුප්‍රාණය ලැබ සිදු වූ ලංකාවේ ප්රජාතන්ත්රවාදයේ පුනර්ජීවන ක්‍රියාදාමය නොසිතූ විරූ සහ ඛේදනීය පසුබෑමකට ලක්විය. එවකට නිර්ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන අන්ධකාරය නැවත පියමං කරමින් තිබිණි. එම පසුබෑමේ සහ අන්ධකාරයේ කර්තෘකයන් වී සිටියේ ද, 2015 දේශපාලන පුනර්ජීවනයේ නායකයන්ම වීම එම ඛේදනීයභාවය තවත් තියුණු කරන ලදි. මේවා ඇසින් දකින්නට පෙර මෙලොව හැර යාමට අවස්ථාව ලැබීම ගැන සමහරවිට බොහෝ බෞද්ධයන් විශ්වාස කරන ආකාරයෙන් දේවතාවකු වී සිටින සෝභිත ස්වාමීන් වහන්සේ සැනසුම් සුසුමක් හෙළනවා විය හැකිය.