11
රටක සංවර්ධන ඉලක්ක අතර මානව සංවර්ධනයට වෙනත් රටවල ප්රමුඛත්වයක් දෙන අතර ශ්‍රී ලංකාවේ සංවර්ධන අරමුණු අතර එය දක්නටවත් නැත. එසේම කෙතරම් ආර්ථික සංවර්ධනයක් ඇතත් ඒකපුද්ගල ආදායම වරක් වැඩිම රට කුවේටය ලෙස පිළිගත්ත ද එරට සංවර්ධිත රටක් ලෙස නොගැනුණේ මානව සංවර්ධනයේ හා අධ්‍යාපනික සංවර්ධනයේ පැවති ඌනපූර්ණයන් නිසාය. ජපානය වැනි රටවල අධ්‍යාපනයත් සමඟ මානව සංවර්ධනයට වැඩි නැඹුරුවක් ඇති නිසා එරට ශික්ෂණයෙන් යුත් මානව සම්පත ආර්ථිකයේ ප්‍රධාන සහායකයා බවට පත්වී තිබේ. මේ මොහොතේ සෑම දේශපාලන පක්ෂයක්ම ආර්ථිකය මුල්කරගත් ප්‍රතිපත්ති මත තම පක්ෂ ප්‍රතිපත්ති සකස් කර ඇත. ඒවාහි මානව සංවර්ධනයට ඇත්තේ ඉතා කුඩා ඉඩකි. ඒ නිසාම ඔවුන්ගේ මාධ්‍ය ක්‍රියාකාරීවය, සහභාගිත්වය හා අදහස් ප්‍රකාශ කිරීම අද දෙපක්ෂයක් අතර සිදුවන ආරවුලක් වැනි තත්ත්වයකට පත්වී තිබේ. ඇතැම් වැඩසටහන්වලදී තම ප්‍රතිවාදියාට සෘජුවම එල්ල කරන අසත්‍ය හෝ ඕපාදූපකතා වන්හි ග්රාහකයා එකෙක් යැයි ඔවුන් සිතන බව පෙනේ. බහුතරයක් ජනතාව අතර විවිධ ස්ථර නියෝජනය කරන ප්‍රධාන කොටසක් ලෙස අප දරු පරපුර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතුය. ඒ නිසා මෙවන් වැඩසටහන්වලදී ශික්ෂණයෙන් හා තර්කානුකූලව ඒවා ඉදිරිපත් කළ යුත්තේ විශේෂයෙන් රූපවාහිනි කථිකා වැඩසටහන්වලදීය. අද්‍යතනයේ ඒ ඒ ආයතනවලින් මුල්කාලවලදී දුටු ස්වයං පාලනයවත් අද දැකගත නොහැකිය. අවසානයේ අන්තර්ගත සංදේශවලට වඩා ජනගතවන්නේ කෝලාහලයකි.
වර්තමානයේ පමණක් නොව මෑත ඉතිහාසය බැලුවද සමාජ දේහයේ විශාල කඩාවැටීමක් දැකගත හැකිය. අතීතයේ රටක මානව සම්පත අනුස්ථාපනය වූයේ පෙර පරම්පරාවේ පරමාදර්ශයන් පෙළගැස්වීම මඟිනි. ඒවා ඉබේම එක් පරම්පරාවකින් අනෙක් පරම්පරාවට කාන්දු වූයේ මානව සම්බන්ධතාවන් නිසාය. නිෙවස, ගම, පළාත, රට ලෙස එසේ පෝෂණය වූ සම්බන්ධතා ජාලය ශික්ෂණය, ආචාරධර්ම, වටිනාකම්, සදාචාරය, සංස්කෘතිය වැනි විවිධ නම්වලින් හැඳින්වූයේ ඒවා එක්නෙකෙහි පවතින පෝෂක විසින් විවිධ ආධ්‍යාත්මික ගුණවගාවන් මඟින් ගුණගරුක සමාජයක් රටක පෙරගමන්කරුවා කරමිනි. ඒ කාර්යය කාර්මික විප්ලවය විසින් පවරනු ලැබුයේ දෙවැනිව බිහිවූ ජනමාධ්‍ය වෙතය. තාක්ෂණයට පිටුපසින් සිටි මිනිසා යටකරමින් තාක්ෂණය මතුවී සමාජ දේහයේ සෑම ස්ථරයක්ම පාලනය කරන්නටත්, හසුරුවන්නටත්, බලපෑම් කරන්නටත් හැකිවීමේ උපරිමයකට අද මාධ්‍ය පත්වී තිබීමේ ඛේදනිය පැතිකඩ කිහිපයක් පෙන්වා දිය හැකිය. එසේ වීමේදී සිදුවී ඇති හානිය අදටත් වඩා බලපාන්නේ අනාගතයටයි.
අප රටේ වර්තමානයේ දරු පරපුර ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් වඩා භාවිත කරන්නේ සමාජ මාධ්‍යයයි. ඊට එක් හේතුවක් වූයේ කොවිඩ් වසංගතයත් සමඟ පාසලට සමාජ මාධ්‍ය අධ්‍යාපනය සඳහා යොදවා ගැනීමට සිදුවීමයි. දරුවන් අතට පත්වූ ජංගම දුරකතනය ඔස්සේ වැඩිහිටියන් විසින් සකස් කළ වැඩසටහන් නොබලන්නැයි කිව හැක්කේ කාට ද? එසේ නම් ඒවා සියල්ල දරුවන්ගෙන් වෙන්කර ගත හැකි ද? මාධ්‍ය වගකීම අප රටට අනවශ්‍ය ද? මේ ඒ පිළිබඳ කියවාගැනීමකි.
අන් කවරදාකටත් වඩා අද රූපවාහිනියේ සාකච්ජා බෙහෙවින් ජනප්රියවී තිබේ. ඒවා මුල්කාලවලදී මෙන් නොව දේශපාලනයේ කථිකාවන් වන අතර රටේ ඉදිරි පරපුර ආදර්ශයට ගන්නේ ද මේ ඔස්සේ ජනගතවන ක්‍රමවේද, අන්තර්ගත කරුණු නිසාත් අද වන විට පාසල් විෂයමාලාවට ජනමාධ්‍යෙව්දය විෂයයක් ලෙස ඉගැන්වෙන නිසාත් මේ කරුණු සාකච්ජා විය යුතු යැයි සිතේ. ඊටත් වඩා බරපතළ කාරණය වන්නේ සමාජයේ ප්‍රසිද්ධියේ නොකෙරෙන වචන භාවිතය මාධ්‍ය අධ්‍යයන ක්ෂේත්‍රෙය්දී මාධ්‍ය භාවිතය නැතහොත් සංදේශ සකස් කිරීමේදී කෙසේ පිළිගතහැකි දැයි යන්න ද ප්රශ්නයක්ව පවතින බැවිනි.
වත්මන් සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනයේ නියුතු භික්ෂූන් වහන්සේලා ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනයෙන් බැණ ගැනීම මෙන්ම සාකාච්ජා පවත්වන ඇතැම් සමාජ මාධ්‍ය හිමිකරුවන් තමන්ට කිසියම් මාධ්‍යයක හිමිකාරිත්වයක් සමඟ විරුද්ධවාදීන්ට සෘජුවම තමාට අභිමත පරිදි අසමගිකම් පෙන්වීමට තම මාධ්‍යයට හිමිකම ද ලැබී ඇති බව සිතන බවක් පෙනේ. ඒ ශ්‍රී ලංකාව වැනි රටක පමණක් අදහස් ප්‍රකාශ කිරීමේ අසීමිත නිදහසක් ඇති බවම ඔවුන් විසින්ම එයින් ප්‍රදර්ශනය කරයි. අපිට කතාකරන්න පුළුවන්, ඔවුන් අපේ බදු මුදලින් යැපෙන්නන් යැයි පෙන්වා දීම වරදක් නැත. එහෙත් තම අදහස් ප්‍රකාශ කිරීමේදී සංවරයක් තිබිය යුතුමය. කිසිම විටෙක මාධ්‍යෙව්දියා අසංවරව හා නාට්‍යාකාර ගැටුමක ස්වරූපයෙන් ප්‍රශ්න කිරීම ඔවුන් තම නිර්භීතකම හා අයිතියක් ලෙස සිතීමේ වරදක් නැත. එහිදී නරඹන්නන් විවිධ ස්ථරවල සිටින්නන් බව අමතක නොකළ යුතුය. ඒ ස්වරූපවලට දැඩි කැමැත්තක් ඇති අයට ඔවුන්ගේම වචනවලින් කියන්නේනම් ආතල් එකකි. එහෙත් ඉගෙන ගන්නා සිසුන්ට ඇසෙන අසභ්‍ය වචන ඒ දරුවන් තම විවාද කණ්ඩායමකදී භාවිත කළහොත් ගුරුවරයකුට නිවැරදි කිරීම කළ හැක්කේ කෙසේද?
මාධ්‍ය හා මාධ්‍යෙව්දියා මෙරට සිදුවන වංචා, දූෂණ හෙළි නොකළේනම් රට මෙපමණවත් ඉතිරි නොවනු ඇත. ඒ නිසා යහපත් මාධ්‍ය හා මාධ්‍යෙව්දීන් කරන ඔවුන්ගේ මෙහෙවර අද දැඩි අභියෝගයකට පත්ව ඇත්තේ සමාජ මාධ්‍යවල මාධ්‍යෙව්දීන් ඉස්මතුවෙමින් ජනතාව ඒවා වැලඳගන්නා බැවිනි. සමාජයේ සිදුවන අක්‍රමිකතා, අකටයුතු, දූෂණ වංචා පුද්ගලයන් සමඟම හෙළිකිරීමේ වරදක් නැත. එහෙත් ඇතැම් විටෙක අධිකරණයට යායුතු ඇතැම් සිද්ධීන්ට නිරාකරණයන්, දඬුවම් ආදිය කරන්නේ ද මාධ්‍ය විසිනි. ඒ නිසා මතුවට වුව පත්වන රජයන්ට මාධ්‍ය හා මාධ්‍යෙව්දීන් පිළිබඳව වෙනත් කෝණයකින්න් බැලිය යුතු තත්ත්වයක් අද ඇතිවී තිබේ.
මේ දිනවල විවිධ දේශපාලකයන් විවිධ දුර්මත ප්‍රකාශ කිරීම් මෙන්ම ඒවාට කෙරෙන ප්රතිතර්කන ද රැඩිකල් ස්වරූපයක් ගනියි. ජනතාව දිනා ගැනීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍යෙව්දීන් විසින් ප්‍රාථමික ස්වරූපයේ ඉදිරිපත් කිරීම් කෙරේ. ඔවුන් කිසිම නියාමනයක් නොදන්නා වෘත්තීය මාධ්‍යෙව්දීන් නොවේ. කොහෙන් හෝ සොයා ගත් තොරතුරක් විටෙක සිද්ධියට අදාළවූවන්ගෙන් එතැනින්ම තොරතුරු මුදාහැරීමේදී දෙවැනි තෙවැනි සොයාබැලීමක් හෝ නොමැති වීම අතිශය බියකරුය. එසේම සමාජ මාධ්‍ය අද බෙහෙවින් ඕපාදූප බහුල එදා මල් පත්තර යැයි හැඳින්වූ පුවත්පත්වල අන්තර්ගතයන් සහිත බොළඳ, අතිශය පෞද්ගලික මිනිස් තොරතුරු ප්‍රකාශිත තත්ත්වයකට පත්ව ඇත. ඒ ඇයි?
මනෝ විශ්ලේෂණ සංකල්පයට අනුව මිනිස් සිත අවිඤ්ඤාණිකත්වය හා සවිඤ්ඤාණිකත්වය අතර නිරන්තර ප්රතිරෝධයක ගැටේ. අවිඤ්ඤාණිකත්වය සදාචාරය, ආචාරධර්ම, වටිනාකම් විසින් යටපත් කර ඇති අතර ජනමාධ්‍යයට ඒවා මතුකරගත හැකිය. මිනිසා තුළ ඇති ආක්රමණශීලීත්වය, වැනි ප්‍රාථමික විචල්‍යයන් ආවේගශීලී වැඩසටහන්වලින් මතුවේ. මේ තත්ත්වය වඩාත් දැකගත හැක්කේ බටහිර මාධ්‍යවලිනි. ඒවා ප්රවෘත්තිපාදකව සකස් වන අතර පෙරදිග රටවල එම තාක්ෂණික මිනිසා වෙනුවට උත්තර මානවයකු වෙනුවෙන් සංදේශයන් සකස් වේ. ඒවා බොහෝවිට විචාරශීලීය. තාර්කිකය. දෘෂ්ටිමූලිකව සකස් වේ. අප රටේ අනුගමනය කරන්නේ බටහිර ප්රවෘත්ති මූලික ශෛලියයි. එහිදී මිනිසාගේ ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණ මතුවන ආකාරය සමාජ මාධ්‍ය ප්‍රතිචාරවලින් හඳුනාගත හැකිය.
මෙහිදී වඩාත් ප්‍රශ්නයන්ට මුහුණ දෙන්නේ මාධ්‍ය අධ්‍යයනය උගන්වන ගුරුවරුන්ය. දරුවන් ග්‍රහණය කරගන්නා සංදේශ පිළිබඳව වඩාත් පුළුල් මාධ්‍ය සාක්ෂරතාවක අවශ්‍යතාව පාසලෙන්ම ආරම්භ කරගත යුතුව තිබේ. දරුවන්ට බලපාන හා ඔවුන් වඩාත් ආකර්ෂණය වන වැඩසටහන් පිළිබඳවත් ඒවායින් මතුවන ආචාරධර්මීය හා නීතිමය පක්ෂයත් සාකච්ජා කිරීමේ අවශ්‍යතාව ප්‍රබල තැනෙක පවතී. මේ තත්ත්වය තවත් ආකාරයකට දේශපාලකයන් විසින් ද සිදුකරන්නේ වක්‍රාකාරවය. ඔවුන් බොහෝ අවස්ථාවලදී විරුද්ධවාදීන්ට කෙරෙන අසභ්‍ය හා අසත්‍ය චෝදනා මාධ්‍ය ඔස්සේ ජනගතවීම දැකගත හැකිය. බොහෝ මාධ්‍ය විටෙක එවැනි තැන් සංස්කරණය කළ යුතුවුව එසේම ප්‍රචාරය කරයි. එසේ කරමින්ම ජනමාධ්‍යවලට හා මාධ්‍යෙව්දීන්ට ද තර්ජනය කිරීම් වැනි දෑ දැකගත හැකිය.
කෙසේ වුව මැතිවරණයක් පවත්වන මෙවැනි වකවානුවකදී දේශපාලකයන්ගේ ආක්රමණශීලීත්වය මාධ්‍ය ඔස්සේ ඉස්මතුවීමෙන් ඔවුන් තමන්ගේ අවිඤ්ඤාණිකත්වය ප්‍රදර්ශනය කරන අතර මාධ්‍යෙව්දීන් යැයි කියාගන්නා ඇතැම් කණ්ඩායම් ඔවුන්ගේම වචනයෙන් පොරක්වීම සමාජයේ සවිඤ්ඤාණික ජන කණ්ඩායම් නිසියාකාරව අවබෝධ කරගත යුතුය. එසේම ජනමාධ්‍ය උගන්වන (විශේෂයෙන් පාසල් විෂයයක් ලෙස) ගුරුවරුන් මෙහිදී දරුවන් අතර කෙසේ හෝ මේ තත්ත්වයේ සැබෑ ස්වරූපය පෙන්වා දිය යුතුව තිබේ. ලෝකයේ විවිධ රටවල පවත්නා ආචාරධර්ම මාලාවන් හා අණපනත් පිළිබඳව පෙන්වා දිය යුතුය. චීනයේ නිපැයුණු ටික්ටොක් මාධ්‍යෙය් ක්‍රීඩා Game එරට දරුවන්ට තහනම්ය. අමෙරිකාවේ වයස 13ට අඩු දරුවන්ට ජංගම දුරකතන තහනම්ය. අප රටේ ඇතැම් මව්වරුන් දරුවන්ට කෑම කවන්නේ හෝ නිදිකරවන්නේ ජංගම දුරකතනයකින් කාටූනයක් පෙන්වමිනි.
සමාජ මාධ්‍ය භාවිතයේ දී තරුණ දරුවන්ගේ පෙම් සබඳතා ඇතිවීම හා ඒවා බිඳවැටුණු පසු මේ මාධ්‍ය භාවිතයෙන් ජීවිතපවා නැති කරගත් අවස්ථා අපරටේ ඇත. කුඩා දරුවාගේ පටන් වැඩිහිටියා දක්වා විවිධ බලපෑම්වලට හසුවන මාධ්‍ය තුළ සිටින ඇතැම් අසංවර දේශපාලකයන්ගේ නොමනා කතා ද මානව සම්බන්ධතා විනාශ කිරීමකට ලක්කර ඇත. විසඳුම ඇත්තේ ද ප්රබුද්ධ ජනතාව තුළමය.
සමාජයේ විවිධ සංවිධාන විසින් බොහෝ සාර්ථක අණපනත් සම්මත කර ගැනීම බටහිර රටවල දැකිය හැකිය. නමුත් රජයට ප්‍රමුඛත්වය දී ඊට යටත්ව නිහඬව සිටිය යුතු කාලයක් නොවේ. එයින් අදහස් කරන්නේ අනර්ත අරගල කිරීම නොව වැරදි දේ පෙන්වා දීමය. ඒ නිසා සංවිධිත සංවිධානවලින් මේ තත්ත්වය බොහෝදුරට රජය සමඟ සාකච්ජා කිරීමෙන් විසඳාගත හැකිය. මක් නිසාද යත් සමාජ මාධ්‍ය භාවිතයේ අවභාවිතය ඉස්මතුව ඇති බැවිනි.