6
පාලකයා තමන් සතු බලය නොබියවද, උපායශීලීව ද භාවිත කළ යුතු යැයි මැකියාවෙලී කියා ඇත. මැකියාවෙලී යනු ඉතාලියේ කුමාරයන්ට උපදේශන ලබා දුන් දාර්ශනියෙකි. ඔහුගේ උපදේශන නිවැරදිව කියවා ගන්නා විට පැහැදිලි වන්නේ සාර්ථක පාලකයා ඇතැම් විට සිය බලය නිර්භීතව භාවිත කරනු අතර ඇතැම්විට උපායශීලීව භාවිත කරන බවය. එය බලයේ රැඳී සිටීමට අවශ්‍ය ප්‍රධාන සාධකයක් බවද මැකියාවෙලී පෙන්වා දෙයි. බලය, වගවීම හා සිය කාර්යයන් පිළිබඳ නිවැරැදි වැටහීම පාලකයාට මෙන් ම ජනතාවට එකසේ වැදගත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදයේදී එය අපේක්ෂා කරයි.
15 වන සියවසේ පටන් සිය ආක්‍රමණ ආරම්භ කළ යුරෝපීය ජාතිකයන් යටත් විජිත ක්‍රමය තහවුරු කොට පසුව එකිනෙක යටත් විජිතවලට නිදහස ලබා දුන්නේ එකවර සම්පූර්ණ දේශපාලන නිදහසක් හා ස්වාධීනතාවක් ස්ථාපිත වන අයුරින් නොවේ. ඉංග්‍රීසි පාලකයා ශ්‍රී ලංකාවට දේශපාලන නිදහස ලබා දෙන්නේ පියවර කිහිපයකින් යුතුව ය. එකවර පූර්ණ දේශපාලන නිදහසක් ලැබුණේ නම් රාජ්‍ය පාලන කටයුතු අවුල් වීමට ද ඉඩ තිබිණි. මේ අනුව පාලකයාට බලය පැවරීමේ අවස්ථා කිහිපයක් හඳුනාගත හැකිය.
1. ඩොමීනියන් තත්ත්වය
2. වෙස්මිනිස්ටර් පනත
3. කෝල්බෲක් ප්‍රතිසංස්කරණ
4. නාමමාත්‍රික නිදහස (1948)
5. 1972 – ජනරජ ව්‍යවස්ථාව
6. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව
(1948 දේශපාලන වශයෙන් ලබා දුන් නාමමාත්‍රික නිදහස උදෙසා ද ජනතාව අරගල සිදුකර ඇති අතර ඉන්පසු නිදහස හා ස්වාධීනතාව සඳහා නෛතික ප්‍රතිපාදන සකස්කර ගැනීමට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට පාලකයන් පෙලැඹී ඇත.
1946 දී ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්ත්වය ලබාදීමට මහා බ්‍රිතාන්‍ය තීරණය කර ඇත. මහා බ්‍රිතාන්‍යෙය් යටත්විජිත භාර මහා ලේකම්වරයා 1946 මැයි 17 දා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවාසීන්ගේ කැමැත්තට හා ආශාවට ඉඩදෙමින් ඩොමීනියන් තත්ත්වයක් දක්වා දේශපාලනයෙන් උසස් වීමට මහරජතුමා අනුමැතිය ලබා දී ඇති බවය. මෙහිදී බ්‍රිතාන්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවාසීන් කැටුව සහයෝගයෙන් කටයුතු කරන බවද මහා ලේකම්වරයා සඳහන් කර තිබේ. ඩොමීනියන් තත්ත්වය යන්නෙන් සැබෑවටම අදහස් කරන්නේ රටේ අභ්‍යන්තර පාලනය ස්වදේශිකයන් අතට පත්කිරීම හා අවශ්‍ය අවස්ථාවලදී එය කළමනාකරණය සඳහා කිරීටයේ නියෝජිතයකු පත්කර තැබීමටය. විශේෂයෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය ගැන බ්‍රිතාන්‍ය පාලකයන්ගේ දැඩි අවධානය යොමු වී තිබුණු බව පෙනෙයි.
මේ කාලය වන විට ආසියාවේ යටත්විජිත පුරාම පාහේ ස්වදේශිකත්වය, හා ස්වදේශිකයකු රාජ්‍ය නායකයා බවට පත්කිරීමේ දැඩි වුවමනාව පැතිරෙමින් තිබිණි. බුරුමය, ඉන්දියාව වැනි රටවල ඒ සඳහා අරගල පැවැතිණි. ඒ සමඟම දක්නට ලැබුණු විශේෂත්වයක් වන්නේ එම අරගල තුළම ප්‍රතිවිරෝධයන් මතුවීමය. ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා සාහසිකයකුගේ වෙඩිපහරකින් මරණයට පත්වීම මීට නිදසුනකි. ශ්‍රී ලංකාවාසීන් වැඩි දෙනකුගේ ඉලක්කය වූයේ ස්වංපෝෂිත ශ්‍රී ලංකාවක් හා නිදහස් ශ්‍රී ලංකාවකි. ඒ අනුව ඩොනමෝර් ප්‍රතිසංස්කරණ කෝල්බෲක් ප්‍රතිසංස්කරණ පිළිගත යුතුද? ඊට විරුද්ධව කැරැලි ගැසිය යුතුද? යනුවෙන් විවාදයක් සමාජය තුළ පැවැතිණි. සමහරුන්ගේ මතය වූයේ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවාසීන් රවටමින් යටත්විජිතවාදය සූක්ෂ්ම ලෙස පවත්වාගෙන යන බවය.
එකිනෙක ජාතීන් අතර මතවාදී ගැටුම් ඇති වූ බවද පිළිගත යුතු ය. එය ඉන්දියාවේ තදබල ලෙසින් පැවැතිණි. නිදහසින් පසු පාකිස්ථානය බෙදී වෙන්වීම සිදු වන්නේ ප්‍රතිවිරෝධයේ ප්‍රතිඵලයක් හැටියට යැයි සැලකිය හැකිය. ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ සිංහල ජාතියේ ඉලක්කය වූයේ සිංහල බෞද්ධ නායකයකු රාජ්‍ය නායකත්වයට පත්කර ගැනීමය. නිදහසත් සමඟ ජනවාර්ගික ගැටලුවේ මූලික ලක්ෂණ මතුවන්නට වූ බවත්, ඒ අනුව පෙනී යයි.
1948 පෙබරවාරි 04 දා ශ්‍රී ලංකාව හැඳින් වූයේ “අලුත්ම ඩොමීනියන් රාජ්‍යය හැටියටය.
1962 දී සර් ඔලිවර් ආණ්ඩුකාර ධුරයෙන් ඉවත්කොට අග්‍රාණ්ඩුකාර පදවිය සඳහා විලියම් ගොපල්ලව මහතා පත් කිරීම වාර්තා වූයේ ප්‍රථම වරට බෞද්ධයකු රාජ්‍යය නායකත්වය පත්වීමක් හැටියටය. එය සිංහල බෞද්ධයන් උත්සවශ්‍රීයෙන් සැමරූ අතර එළිසබෙත් රැජින පත්වීම සිදුකර තිබිණි.
1970 දී මැතිනියගේ නායකත්වය යටතේ සමඟි පෙරමුණු රජය බිහිවූ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා මන්ත්‍රී කමිටුවක් පත් ෙකරිණි. එය හැඳින් වූයේ ජනතාවගේ බලයෙන් පත් කෙරෙන ජනතා ආණ්ඩුවකට මුල පිරීමක් හැටියටය. ශ්‍රී ලංකාවට මේ ඔස්සේ පූර්ණ නිදහසක් උදාවෙන බවට පිළිගැනීමක් තිබිණි. ඒ අනුව 1972 මැයි 22 සිට නව ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක විය. ඊට අනුව ජනාධිපතිවරයා රටේ නායකයා, රාජ්‍ය නායකයා හා සේනාධිනායකයා වෙයි. එහෙත් මහජන ඡන්දයෙන් තේරී පත්වනු අගමැතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුය. අගමැති පාර්ලිමේන්තුවේ නායකයා වන අතර ඔහුගේ හෝ ඇයගේ අභිමතය පරිදි ජනාධිපතිවරයා යෝජනා කර පත් කරනු ලැබේ. මේ වන විටද මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පාලනයට යම් ආකාරයකින් බලපෑම් කළ බව සඳහන් කළ යුතුය.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාට අද්විතීය පාලන බලයක් ලැබෙන්නේ 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවෙන්ය. පාර්ලිමේන්තුව කැඳවීමේ හා විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරෙයි. ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් තේරී පත්විය යුතු ය. සේනාධිනායකයා රාජ්‍යෙය් නායකයා හා රටට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයා වන්නේ ජනාධිපතිවරයා ය. මෙහිදී ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල්ගේ ආණ්ඩු ක්‍රමයේ ආදර්ශ ලබාගෙන ඇතැ‘යි දේශපාලන විචාරකයෝ සඳහන් කරති. කුමක් වුව බලය නැතිව රටක් පාලනය කිරීම අසීරුය. ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට අවස්ථාව උදා වූයේ විධායක ජනාධිපති ක්‍රමය නිසා යැයි තර්කයක් තිබේ. එය පහසුවෙන් ඉවත දැමිය හැකි තර්කයක් නොවේ.
රන්ජන් අමරරත්න