12
අසීමිත ලෙස ජනතාවගෙන් බදු අය කළ පමණින් ජනතාවට සාධාරණයක් මෙන්ම රාජ්‍ය ආදායම අපේක්ෂිත ආකාරයෙන් ඉහළ යෑමක් සිදුනොවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේදී පැවති ජන හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.
“හපුතලේ, බණ්ඩාරවෙල ගොවි ජනතාවගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගේන්න අවශ්‍ය පාර හැදුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. 2005ට කලින් කොන්ක්‍රීට් පාරවල් අපේ රටේ දැකලා තිබුණේ නෑ. ඒ යටිතල පහසුකම් සියල්ල දියුණු කරන්න කටයුතු කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. ඒ මහතාට දැක්මක් සහ වැඩපිළිවෙළක් තිබුණා. 2015න් පසුව ඒ වැඩපිළිවෙළ අවාසනාවන්ත ලෙස නතර වුණා. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්තිවලින් ගොඩනැඟුණු රට අපේ දැක්ම සමඟ ඉදිරියට රැගෙන යන්න වගකීමක් තිබෙනවා. අපට ඒ සඳහා වුවමනාව තිබෙනවා. ගොවිතැනට තාක්ෂණය ගෙන එනවා. නව දැක්මක් සමඟ අපි දේශපාලනය කරනවා. නාමල් දැක්ම ඒ වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. විරැකියාව නැති කරන්න, බැංකු පොලී අනුපාතය තනි ඉලක්කමට ගේන්න, මිනිසුන්ගේ අතට සල්ලි යන වැඩපිළිවෙළක් අපි නිර්මාණය කරනවා. අසීමිත බදු බරක් ජනතාවට පැටෙව්වා කියා ජනතාවට සාධාරණයක් ඉටුවන්නෙත් නෑ. රාජ්‍ය ආදායම බලාපොරොත්තු වන ගාණට වැඩි වෙන්නෙත් නෑ. රාජ්‍ය ආදායම වැඩි කරන්න නම් රාජ්‍ය ආදායම උත්පාදනය වන ක්‍රමවේද සැකසිය යුතු වෙනවා. තිබෙන දේපොළ විකුණා දැමුවා කියා රාජ්‍ය ආදායම ඉහළ යන්නේ නෑ. අසාධාරණ ලෙස බදු ගෙව්වා කියා රාජ්‍ය ආදායම ඉහළ යන්නේ නෑ. ඒ වෙනුවෙන් සැලැස්මක් සහ දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
අපට අවශ්‍ය ඒ සංවර්ධනය නැවත රටට ගේන්න. පසුගිය කාලවල මේ ආසනය ඉතාම දුෂ්කර තත්ත්වයෙන් පැවතියා. නමුත් ඒවා පරිවර්තනය වෙලා අද දියුණු ආසනයක් බවට පත්වෙලා තිබෙනවා. අවාසනාවකට 2015දී එම සංවර්ධනය නතර වුණාද නතර කළාද අපි දන්නේ නෑ. මහින්ද රාජපක්ෂ මහතා නතර කළ තැනින් සංවර්ධන කටයුතු ඉදිරියට රැගෙන යන්නත්, මේ රට දියුණු රටක් බවට පත්කරන වගකීමත් අපට තිබෙනවා. ඒ වගකීම මම භාර ගන්නවා. මට අවශ්‍ය මේ රට ආසියාවේ දියුණුම රට බවට පත් කරන්න. මේ මව්පියන්ගේ දරුවන් අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන තමන් අපේක්ෂා කරන රැකියාවන් සඳහා යොමු කිරීම අවශ්‍ය වෙනවා. ඒක වෘත්තීය පුහුණුව හෝ කාර්මික පුහුණුව හෝ නිපුණතාව වෙන්න පුළුවන්. දේශපාලනඥයන් පසුපස ගොස් රැකියා ගන්නා ක්‍රමවේදය අපි වෙනස් කරනවා. රාජ්‍ය සේවකයා රැකියාව ගන්නා අවස්ථාවේ සිට ස්ථාන මාරුව දක්වා අවශ්‍ය දේ කරගන්න මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ පසුපස යනවා. ඇයි අපට බැරි ඒ යුගය වෙනස් කරන්න. ඒ සම්ප්‍රදාය අපි වෙනස් කරනවා. රාජ්‍ය සේවයේ ගෞරවය ආරක්ෂා කරනවා.
පොලිස් නිලධාරියාගේ, හමුදා නිලධාරියාගේ ගෞරවය අපි රැකිය යුතු වෙනවා. රාජ්‍ය සේවයේ මාරුවීම් ක්‍රමවේදය ස්වාධීනව කළ යුතුයි. වැටුප් විෂමතා පවතින්නේ නම් ඒවාද නිවැරදි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය දේශපාලන නායකත්වය දීමට අපි කටයුතු කරනවා. බඳවාගැනීමේ ක්‍රමවේදය අපි අලුත් කරනවා. රාජ්‍ය සේවයට බඳවාගැනීමේදී දේශපාලන මැදිහත්වීම වෙනුවට ආයතනයට අවශ්‍ය ප්‍රමාණය බඳවාගන්න පියවර ගන්නවා. අද වන විට අවුරුදු කිහිපයකදී රාජ්‍ය සේවයට නිසි පරිදි බඳවාගැනීම සිදුවී නෑ. අපි මේ රටට ආයෝජන ගේනවා. ආයෝජකයන්ට ආයෝජනය කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා. අද වන විට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කළත් බදු අය කිරීමෙන් එම වැටුප් කපා ගන්නවා. දේශපාලන වේදිකාවේදී වැටුප් වැඩි කරනවා. බද්දක් අය කිරීමෙන් එම වැටුප නැවත කපා ගන්නවා. මේකෙන් කවුද අපි රවට්ටන්නේ. බදු ආදායම වැඩි කළා කියා අපි කාටද පෙන්වන්නේ?. ඒ නිසා මේ සංස්කෘතිය වෙනස් කළ යුතුයි. සමස්ත ආර්ථිකය වර්ධනය කළ හැකි දැවැන්ත වැඩපිළිවෙළක් සමඟ අපි ඉදිරියට ගමන් කළ යුතුයි.
අපි මේ රට ගොඩනඟනවා. ජනතාව ආරක්ෂා කරනවා. මේ රටේ අනාගත පරම්පරාව අපේක්ෂිත දියුණු ලෝකයක් ගොඩනඟන්න අපි අපේ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. දේශීය ව්‍යාපාරිකයා අපි රැකිය යුතුයි. ඇතැම් නායකයන් හිතනවා, විදේශ රටවලින් ගෙනත් කන්න දෙන එක පහසුයි කියලා. අවංකවම අපි සිතනවා, මේ රටේ ව්‍යාපාරිකයා ආරක්ෂා කළ යුතුයි කියලා. ගමේ ව්‍යාපාරය කරන ව්‍යාපාරිකයාගෙන් තමයි මේ රටේ ආර්ථිකය දුවන්නේ. ඒ අයගෙන් අසීමිත ලෙස බදු අය කළා කියා රට දියුණු කරන්න බෑ. බදු ප්‍රමාණය දරා ගන්න හැකි ප්‍රමාණයකට පරිවර්තනය කළ යුතුයි. අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනස්කම් වෙන්න ඕනෙ. ලෝක රැකියා වෙළෙඳපොළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරනවා. අවුරුදු දහයකට පහළොවකට විස්සකට හරි යන විදිහට ඊළඟ අවුරුදු පහේ දහයේ රැකියා නිර්මාණය වන ආකාරයට අපේ රටේ තරුණ පරපුර නිර්මාණය කළ යුතුයි. ඒ වැඩපිළිවෙළ තුළ මේ රටට තිරසර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගන්න පුළුවන්. එසේ නොමැතිව ජාත්‍යන්තර සංවිධානයක් කියන විදිහට බදු ගැසීමෙන් මේ රටේ දියුණුවක් අපේක්ෂා කරන්න බෑ.”
ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි
“රනිල් වික්‍රමසිංහ මහතාට උදව් නොකරන්නේ ඇයි කියා ඇතැමුන් අපෙන් අහනවා. සෝමාවතිය, නාගදීපය, සේරුවිල යන්න පාරවල් හදලා නිදහස් කර දුන්, මගේ රටේ තරුණ තරුණියන් පෙට්ටියෙන් එන එක නතර කර දුන්, මගේ භූමියට ආඩම්බරයක් ගෙන දුන් මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නෑ. මවුබිමට ආදරේ ඕනෑම කෙනෙක් මහින්ද රාජපක්ෂට ආදරෙයි. අපට උතුරට යන්න නොහැකි වුණා. තමන්ගේ දරුවන්ට අනතුරක් නොවන්න මව්පියන්ලා බෝධි පූජා පැවැත්වූවා. බස් එකේ අම්මයි තාත්තායි එකට ගියේ නැති රටක් මේක. මේ රටේ පැවති යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාට. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටට විශාල විනාශයක් කළා. මිනිස් ඝාතන කළා. රටේ සම්පත් විනාශ කළා. මිනිසුන්ට විවිධ හිංසන කළා. රට අඳුරට ඇද දැම්මා. ”
නිවාස හා නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි සහ දිගාමඬුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
ඌව පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
මහින්ද අලුත්ගෙදර බණ්ඩාරවෙල සිට …
ඡායාරූප – සුදත් නිශාන්ත