15
ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා – කාම්බෝජියා අතර පැවැත්වෙන දෙවැනි තරගය උදෙසා ශ්‍රී ලංකා පාපන්දු පිල අද පෙරවරුවේ කාම්බෝජියාව බලා පිටත් විය. සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාපන්දු පිල මේ 10 වැනිදා පෙනේම් පෙන් ඔලිම්පික් ක්‍රීඩාංගණයේදී කාම්බෝජියාව සමඟ සටනට පිවිසේ.
කොළඹ තුරඟ තරග පිටියේ පෙරේදා පැවති පළමු තරගය ගෝල් වාර්තා නොවී ජය පරාජයෙන් තොරව නිමාවට පත්වූ හෙයින් දෙවැනි තරගයේදී දෙපිලම ජයග්‍රහණය සොයා පිටියට පිවිසේ. මෙම දෙවැනි තරගය නියමිත කාලයේදී ජය පරාජයෙන් තොරව නිමා වුවහොත් අතිරේක කාලයක් ලබා දීමට විනිසුරුවෝ පියවර ගනු ඇත. එහිදී ද දෙපිලම සම තත්ත්වයක සිටීනම් දඬුවම් පහර මඟින් ජයග්‍රහණය තීරණය වේ.
වත්මන් ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව කාම්බෝජියාව 180 වැනි ස්ථානයේ පසු වුවද 205 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹදී නිමාවූ තරගයේ ආරම්භයේ සිටම වෘත්තීය මට්ටමේ හොඳ සටනක් ලබාදීම කැපී පෙනුණි. මේ හේතුවෙන් කාම්බෝජියාවේ පැවැත්වෙන දෙවැනි අදියරේ තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැක.
දෙරට අතර 2001 මාර්තු මාසයේදී පැවැති ශ්‍රී ලංකාව හා කාම්බෝජියා අතර තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල් 1-0ක ජයක් අත්කරගත් අතර, 2016 ඔක්තෝබර් මාසයේ පැවැති තරගයෙන් කාම්බෝජියාව ගෝල් 4-0ක ජයක් අත්කර ගත්තේය.
ප්‍රින්ස් ගුණසේකර









