3
සටන්කාමී අර්ධ ශතකයක් රැස් කළ කමිඳු මෙන්ඩිස් හැර සෙසු පිතිකරුවන් ලෝඩ්ස් පිටියේදී කිසිදු සටනක් නොදෙමින් එක පෙළට යළි ක්රීඩාගාරයේ අසුන් ගැනීම හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේදී එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 231ක් පසුපසින් පළමු ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා පිලට ඊයේ සිදු විය.
එම වාසිය සමඟින් දෙවැනි ඉනිම ඇරඹූ එංගලන්ත පිල ඊයේ දෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 25ක් රැස් කර තිබුණි. ඒ අනුව ඔවුහු කඩුලු 9ක් අතැතිව ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් සිටිති.
ශ්‍රී ලංකා ඉනිමේදී පිට පිට තෙවැනි වරටත් අසාර්ථක වූ ආරම්භක පිතිකරු යුගලය ලකුණු 32ක් වෙද්දී යළි ක්රීඩාගාරයේ අසුන් ගත්හ.
නිශාන් මධුෂ්ක සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම රැස් කළේ ලකනු 7 බැගිනි. 10 වැනි ඕවරයේ පළමු පන්දුවෙන් දිමුත් දැවී යෑමත් සමඟ තරගය දිවා විවේකය සඳහා නතර කළ අතර, යළි ආරම්භ වීමෙන් පසු එම ඕවරයේ අවසන් පන්දුවෙන් කුසල් මෙන්ඩිස් වෙනුවට මේ තරගයට කැඳවූ පැතුම් නිශ්ශංකගේ ඉනිම ලකුණු 12කින් නිමා විය.
ඇන්ජලෝ මැතිව්ස් (22) සහ ධනංජය ද සිල්වා (0) ද එකම ඕවරයකදී දැවී ගිය අතර, දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ලකුණු 23කට සීමා විය. පිතිකරුවන් ලෙස පිටියේ ඉතිරිව සිටි එකම ක්රීඩකයා වන කමිඳු මෙන්ඩිස් හුදෙකලා සටනක නිරත වෙද්දී සවස තේ පානය වන විට ශ්‍රී ලංකා පිලට කඩුලු 7ක් අහිමිව තිබුණේ ලකුණු 129කදීය. 7 වැනි කඩුල්ලට මිලාන් රත්නායක (19) සමඟ ලකුණු 31ක් එක් කළ කමිඳු පසු පෙළ පිතිකරුවන් සමඟ එක්ව ඉනිම ලකුණු 196 දක්වා ඉදිරියට ගෙන ගියේය. ඔහු ඉනිමේ අවසන් කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 120කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 74ක් රැස් කර තිබිණි.
තරගයේ පළමු දිනය නිමා විට නොදැවී ලකුණු 74ක් රැස් කර සිටි ගස් ඇට්කින්සන් ඊයේ එම ඉනිම සිය මංගල ටෙස්ට් ශතකය කරා රැගෙන ගියේය.
ජෝ රූට් සමඟ 7 වැනි කඩුල්ලට ගොඩනැඟූ ලකුණු 92ක සබඳතාව බිඳ වැටීමෙන් අනතුරුව ඇට්කින්සන්ට එක් වූ මැතිව් පොට්ස් ලකුණු 85ක සබඳතාවකින් ඉනිම ගොඩනැඟීමට දායක විය. පොට්ස් ලකුණු 21කට දැවී යන විට ඇට්කින්සන් සිය මංගල ශතකය රැස් කර තිබිණි.
මිලාන් රත්නායකගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හමුවේ ඇට්කින්සන් ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස දැවී යන විට පන්දු 115කින් ලකුණු 118ක් රැස් කර තිබුණේ හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් සමඟිනි.
එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු 3ම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, එය ඔහු ටෙස්ට් තරගයකදී කඩුලු 5ක් දවාගත් දෙවැනි අවස්ථාව විය.
මිලාන් රත්නායක සහ ළහිරු කුමාර කඩුලු 2 බැගින් දවා ගත්හ.
අද තරගයේ තෙවැනි දිනයයි.
එංගලන්ත පළමු ඉනිම – 427 (ඕවර 102) ජෝ රූට් 143, ගස් ඇට්කින්සන් 118 (අසිත ප්‍රනාන්දු 102/5, මිලාන් රත්නායක 89/2, ළහිරු කුමාර 101/2)
ශ්‍රී ලංකා පළමු ඉනිම
නිශාන් මධුෂ්ක ප.වෝක්ස් 7
දිමුත් කරුණාරත්න ප. ස්ටෝන් 7
පැතුම් නිශ්ශංක ඇ.පොට්ස් ප.ස්ටෝන් 12
ඇන්ජලෝ මැතිව්ස් ප.පොට්ස් 22
දිනේෂ් චන්දිමාල් ඇ.ඩෑන් ප.ඇට්කින්සන් 23
ධනංජය ද සිල්වා ඇ.බෘෘක් ප.පොට්ස් 0
කමිඳු මෙන්ඩිස් ඇ.වෝක්ස් ප.ඇට්කින්සන් 74
මිලාන් රත්නායක ඇ.ස්මිත් ප.වෝක්ස් 19
ප්‍රභාත් ජයසූරිය ප.බෂීර් 8
ළහිරු කුමාර දුවද්දි දැවී ගියා 0
අසිත ප්‍රනාන්දු නොදැවී 1
අතිරේක 23
එකතුව සියල්ලන් දැවී (ඕවර 55.3) 196
කඩුලු බිඳ වැටීම: 1-18, 2-32, 3-35, 4-83, 5-83, 6-87, 7-118, 8-153, 9-195, 10-196
පන්දු යැවීම: වෝක්ස් 13-4-21-2, ඇට්කින්සන් 8.3-2-40-2, ස්ටෝන් 13-0-70-2, පොට්ස් 11-4-19-2, බෂීර් 7-1-21-1, රූට් 3-0-4-0.
එංගලන්ත දෙවැනි ඉනිම
බෙන් ඩකට් නොදැවී 15
ඩෑන් ලෝරන්ස් ඇ.මධුෂ්ක ප.කුමාර 7
ඔලී පෝප් නොදැවී 2
අතිරේක 1
එකතුව කඩුල්ලක් දැවී (ඕවර 7) 25
කඩුලු බිඳ වැටීම: 1-22
පන්දු යැවීම: අසිත 3-0-12-0, කුමාර 3-0-10-1, මිලාන් 1-0-2-0.









