13
ලංකා මාස්ටර්ස් ක්‍රිකට් සංගමය (Ceylon Veterans Cricket) සංවිධාන කරන පළමු ලංකා ප්‍රවීණයන්ගේ වයස අවුරුදු 50න් ඉහළ ක්‍රිකට් තරගාවලිය හෙට (31) ආරම්භ වේ. මේ ඕවර 40 රතු පන්දු තරගාවලිය සති තුනක් පුරා ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, පළමු තරගය රත්මලාන ජනසතු සේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේදී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායම හා ජනසතු සේවා කණ්ඩායම් අතර පැවැත්වේ.
පී. සරා ඕවල්, බ්ලූම්ෆීල්ඩ්, මත්තේගොඩ යුද හමුදා ක්‍රීඩාංගණය සහ රත්මලාන ජනසතු සේවා යන ක්‍රීඩාංගණවලදී තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජයග්‍රාහකයන්ට රුපියල් ලක්ෂයක් හා අනුශූරයන්ට රුපියල් 50,000ක් පිරිනැමෙන අතර, තෙවැනි ස්ථානයට රුපියල් 25,000ක මුදල් ත්‍යාගයක් හිමි වේ. තරගයේ වීරයා සහ තරගාවලියේ හොඳම ක්‍රීඩකයා සඳහා ද ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.
ලබන වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක ප්‍රවීණයින්ගේ ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම සූදානම් කිරීම මේ තරගාවලියේ අරමුණ බව තරග සංවිධායක මණ්ඩල සාමාජික තරග අධ්‍යක්ෂ මහේෂ් ද සොයිසා මහතා පැවසීය. ඉදිරියේදී අවුරුදු 50න් හා 60න් ඉහළ තරගාවලි කිහිපයක් සංවිධාන කරන බව සොයිසා මහතා පෙරේදා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අවශ්‍යතා අධීක්ෂණය කිරීම, විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගුණාත්මක සංචිතයක් සංවර්ධනය කිරීම, ජාත්‍යන්තර තලයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන හොඳම ප්‍රවීණ ක්‍රීඩකයන් තෝරා කලාපීය තරගාවලි සංවිධාන කිරීම හා සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් ගත කිරීමට ක්‍රීඩකයන් දිරිමත් කිරීම ලංකා මාස්ටර්ස් ක්‍රිකට් සංගමයේ අපේක්ෂාව අතර වේ. මේ පිළිබඳ වැඩි විස්තර 0775704201 අංකයෙන් සිසිල ඉන්ද්‍රරත්න මහතා අමතා ලබාගත හැකිය.
තරග කාලසටහන මෙසේය: හෙට (31) – රාජ්‍ය සේවා ක්‍රිකට් පිල හා ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් පිල අතර රත්මලානේදී, සැප්. 1 දා – ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් පිල හා වෙළෙඳ සේවා අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේදී, සැප්. 7දා – රාජ්‍ය සේවා ක්‍රිකට් පිල හා වෙළෙඳ සේවා අතර බ්ලූම්ෆීල්ඩ් පිටියේදී, සැප්. 8 දා – ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් පිල හා රාජ්‍ය සේවා ක්‍රිකට් පිල අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී, සැප්. 15 දා – ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් පිල හා රාජ්‍ය සේවා ක්‍රිකට් පිල අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී, සැප්. 17 දා – වෙළෙඳ සේවා හා ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් පිල අතර පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී.
ප්‍රින්ස් ගුණසේකර









