4
ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර ටෙස්ට් තරගයේදී ඇන්ජලෝ මැතිව්ස් හා කමිඳු මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ සටන්කාමී සබඳතාවක් ගොඩනගමින් සිටියදී එතෙක් භාවිත කළ පන්දුව ඉවත්කොට අලුත් පන්දුවක් යොමු කිරීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන් අපහසුතාවට ලක්වූ බව අත්දැකීම් බහුල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යයට පැවසීය.
විශාල හිසරදයක්ව පැවැති ඇන්ජලෝ – කමිඳු සබඳතාව අතරතුරදී පන්දුව මාරු කිරීමෙන් පසු කලින් පන්දුවට වඩා ආදේශ කළ පන්දුව වැඩි දෝලනයක් සහිතවීමෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට අභියෝග එල්ල විය.
පන්දු මාරුවෙන් පසු මැතිව්ස් ලකුණු 65දී හා කමිඳු ලකුණු 39දී උඩ පන්දු දෙකක් දුන්නද රූට් හා ඇට්කින්සන් අතින් ගිලිහී ගියහ. දෝලනය හමුවේ මිලාන් රත්නායක අවස්ථා දෙකකදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගිය බවට විනිසුරු තීරණය කළද විනිසුරු තීරණ නැවැත විමසීමෙන් මිලාන් බේරී ගියේය. ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 146ක් ලෙසින් තිබියදී පන්දුව මාරු කිරීම සිදු වූ අතර, අනතුරුව මැතිව්ස් ලකුණු පුවරුව 173 වෙද්දී දැවී ගියේය.
පන්දුව වෙනස් කිරීම සඳහා විනිසුරුවරුන්ගේ එකඟතාව ලබා ගැනීමට එංගලන්තය සමත්වූ අතර, එයින් වාසිදායක තත්ත්වයක් ඔවුන් නිර්මාණය කර ගත්තේය.
“අපි හොඳින් පන්දුවට පහර දුන්නා. ඔවුන්ගේ සැලසුම් අවසන් වී ඇති බවක් පෙනෙන්නට තිබුණ වෙලාවක අවාසනාවන්ත ලෙස පන්දුව වෙනස් කර ගත්තා. ක්‍රීඩා කරමින් සිටි පැහැය අඩු බෝලය වගේ එකක් හොයා ගන්න තරම් පැරණි බෝල ඔවුන් සතුව නොමැති බව විනිසුරුවන් පැවසුවා. ඒකෙන් ක්‍රීඩාවේ ගම්‍යතාව නැති වුණා. අලුතෙන් ගත්ත පන්දුව ගොඩක් ඔපය තිබුණ බැබළෙන එකක්. කලින් ක්‍රීඩා කළ පන්දුවේ ඔපය නැතිවන විදිහට අපි පහරදීලා තිබුණේ. ගොඩක් මහන්සි වෙලා අපි ඒක කළා. පන්දුව වෙනස් වූ පසු සම්පූර්ණයෙන්ම වෙනස් ක්‍රීඩාවක් බවට පත් වුණා” මැතිව්ස් මාධ්‍ය වෙත පැවසීය.
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර මැන්චෙස්ටර්හී පැවති පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්ත ක්‍රීඩකයන්ට පන්දුව මාරු කිරීමේ තීරණයක් ලැබීම දැන් මතභේදයට ලක්ව තිබේ. එංගලන්තය හදිසියේම නව පන්දුවක් අතට ගෙන එය ඔවුන්ගේ වාසියට හරවා ගැනීම තරගයේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් නම් කළේය.
“ඒක අවාසනාවන්තයි, ඇත්තම කිව්වොත්. අපි පන්දුව මාරු කරනතුරු ලස්සනට සෙල්ලම් කරමින් හිටියා. පන්දු මාරු කිරීමේ නීති වෙනස් විය යුතුයි” මැතිව්ස් පැවසීය.
පසුගිය වසරේ අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඕවල් ටෙස්ට් තරගයේදී ද එංගලන්ත පිල පන්දුව මාරු කරගෙන මෙවැනිම විවේචනයකට භාජන විය. ඔස්ට්‍රේලියානු සුපිරි පිතිකරු රිකී පොන්ටිං මේ සිදුවීම සම්බන්ධයෙන් සිය කලකිරීම පවා ප්‍රකාශ කර තිබිණි.
ප්‍රින්ස් ගුණසේකර









