28
අමෙරිකානු රටක් වන පේරු රාජ්‍යයේ පැවැත්වෙන ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් සහභාගිවන 17කගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් අනුව ජනාධිපති අරමුදලෙන් දෙකෝටි අනූ දෙලක්ෂයක මුදලක් ලැබී ඇති හෙයින් එම කණ්ඩායම අදියර දෙකක් ඔස්සේ ලීමා නගරය බලා පිටත්වේ. මේ මස 27 සිට 31 දක්වා පැවැත්වෙන තරගාවලිය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12ක් හා නිලධාරීන් 5ක් පළමු අදියර යටතේ හෙට (23) හා දෙවැනි අදියර ලෙස අනිද්දා (24) පිටත්ව යෑමට නියමිතය.
යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා දැක්වීමට අවස්ථාව ලැබෙන මුල් පෙළේ තරගාවලිය වන මේ ලෝක ශූරතා කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා ශූරතාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය ඉතා වැදගත් හෙයින් මූල්‍ය දුෂ්කරතා මැද වුවද අවශ්‍ය සහයෝගය ලබාදීමට හැකිවීම පිළිබඳ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ වසරේ ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී ඇති රුපියල් මිලියන 400ක මුදලින් ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ ඉලක්ක කොට පුහුණුවීම්, විදෙස් සංචාර, පෝෂණ දීමනා හා පුහුණුකරු දීමනා ඇතුළු විශාල වියදමක් දැරූ හෙයින් ක්‍රීඩා අමාත්‍යාංශය සතුව මුදල් නැති අවස්ථාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වෙනුවෙන් ලබාදුන් දායකත්වය අගය කරන බව ද ඒ මහතා පැවසීය. මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6ක් හා පැරාලිම්පික් ක්‍රීඩා උලෙළට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8ක් සුදුසුකම් ලබා ගත්හ.
“මේ වසරේ මුදල් නාස්ති වුණේ නෑ. ඉතුරු නොකර උපරිම ප්‍රයෝජනය ගත්තා. අයවැයෙන් වෙන්වූ සියයට දශම බින්දුවයි තුනෙන් මේ වසරේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් වෙනුවෙන් විශාල දෙයක් කළා. ලබන වසරේ මෙයට වඩා මුදලක් ක්‍රීඩාවට වෙන් කිරීමට යෝජනා ඉදිරිපත් කොට තිබෙනවා” යැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිවරයකු වන චන්දන ඒකනායක මහතා මේ තරග සංචාරයේ කළමනාකරු ලෙස කටයුතු කරන අතර, භද්‍රා ගුණවර්ධන, අනුර බණ්ඩාර හා ක්‍රිශාන්ත කුමාර යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවෝ වෙති. ක්‍රීඩිකාවන් භාරව ධම්මිකා කුලතුංග මහත්මිය සංචාරයට එක් වේ.
ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සභාභාගි වන 20න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම:
පිරිමි – දිනුත් ඉදුවර වීරරත්න (මීටර් 100, මීටර් 100 සහාය – මාතර ලීඩ්ස් ජාත්‍යන්තර පාසල), මෙරෝන් ජූලියන් විජේසිංහ (මීටර් 100, මීටර් 100 සහාය – ආනන්ද විදුහල), රාප්මිණී ඉදුසර විදුෂාන් (මීටර් 200 – මීටර් 100 සහාය – ආනන්ද විදුහල), මලිත් කවුෂාන් තමෙල් (මීටර් 200 – මීටර් 100 සහාය – කදාන ද මැසිනෝද් විදුහල), අයේෂ් මිහිරංග (මීටර් 100 සහාය – ගාල්ල මහින්ද විදුහල), ජත්‍යා කිරුලු (මීටර් 400 – ගාල්ල මහින්ද විදුහල), සඳුන් කෝසල (මීටර් 110 කඩුලු – වත්තල ලයිසියම්), අයොමාල් අකලංක (මීටර් 400 කඩුලු – අඹගමුව මැදි විදුහල), දිනූෂාන් මෙන්ඩිස් (උස පැනීම – වත්තල ලයිසියම්), ලෙසදු ආතාවිදු (උස පැනීම – ආනන්ද විදුහල).
කාන්තා – ජිත්මා විජේතුංග (මීටර් 400 – වත්තල ලයිසියම්), මධුෂාණි හේරත් (දුර පැනීම හා තුන් පිම්ම – බිබිල නන්නපුර මහ විදුහල)
ප්‍රින්ස් ගුණසේකර









