-ෂෙයික් හසීනාගෙන් අවාමි ලීග් පාක්ෂිකයන්ට ලිපියක්
බංග්ලාදේශයේ විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා පැතිරී ගියේ එරට රාජ්‍ය බලය වෙනස් කිරීමට අමෙරිකාව කළ කුමන්ත්‍රණයක් හේතුවෙන් බවට ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට හිටපු අගමැතිනිය ෂෙයික් හසීනා සූදානමින් පසු වූ බවට තොරතුරු ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ශිෂ්‍ය විරෝධතා උත්සන්න වන විට වහාම රටින් පිටවන ලෙස ආරක්ෂක ප්‍රධානීන් ලබා දුන් උපදෙස් මත ඇයට ජනතාව අමතා එම ප්‍රකාශය සිදු කිරීමට නොහැකි වූ බවත්, ඇය විසින් සටහන් කරගත් එම ප්‍රකාශය ඇතුළත් ලිපිය පසුගියදා ඉන්දීය මාධ්‍ය වෙත ලැබී තිබූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දියාවට පැමිණීමෙන් පසු ඇය සිය අවාමි ලීග් පක්ෂයේ නායකයන් වෙත එම ලිපිය යොමු කර ඇතැයි ද, තමාට රාජ්‍ය බලය අහිමි වීම අමෙරිකාවේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව ඇය එම ලිපියෙහි සඳහන් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
බංග්ලාදේශ පාලනය යටතේ පවතින බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටි සාන්ත මාටින් දූපත අත්හැරීමට සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු සීමාවේ ක්‍රියාකාරකම් සඳහා අමෙරිකාවට අවසර දුන්නේ නම් තවදුරටත් බලයේ රැඳී සිටීමේ අවස්ථාව තමාට හිමිවන බවත් ඇය අවාමි ලීග් පක්ෂයේ සාමාජිකයන් වෙත යවනු ලැබූ එම ලිපියෙහි සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
“මම ඉල්ලා අස්වුණේ මිනිස්සු ඝාතනය වන හැටි බලන්න බැරි නිසයි. ඔවුන්ට අවශ්‍ය වුණේ ශිෂ්‍යයන්ගේ මළකඳන් උඩින් බලයට එන්නයි. ඒත් මම ඒකට ඉඩ දුන්නේ නෑ. සාන්ත මාටින් දූපතේ අයිතියත්, බෙංගාල බොක්ක පාලනය කරන්නත් අමෙරිකාවට ඉඩ දුන්නා නම් මට බලයේ ඉන්න තිබුණා. මම ජනතාවගෙන් ඉල්ලන්නේ රැඩිකල්වාදීන්ට රට පාලනය කරන්න ඉඩ දෙන්න එපා කියලයි.” ඇය එසේ සඳහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
“සමහර විට මම තවදුරටත් රටේ හිටියානම් මීට වඩා ජීවිත නැති වෙන්න තිබුණා. ඒ නිසයි මම රටින් පිටවුණේ.” එම ලිපියෙහි එසේ සඳහන් කර ඇති ෂෙයික් හසීනා අවාමි ලීග් පාක්ෂිකයන්ට පණිවුඩයක් ද ලබා දී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
“බලාපොරොත්තු අත්හැර ගන්න එපා. මම ඉක්මනට ආපහු එනවා.”
The post ආණ්ඩුව වැටුණේ අමෙරිකාවේ කුමන්ත්‍රණයකින් appeared first on දිනමිණ.







