12
විරෝධතා, ප්‍රහාර සහ කඩාකප්පල්කාරී සිදුවීම් රැසක් මැද රුසියාවේ තුන්දින ජනාධිපතිවරණය අවසන් වූ බවත්, ව්ලැදිමිර් පුටින් පස්වැනි වරටත් එරට ජනාධිපතිවරයා ලෙස පත්වන බවට අනාවැකි පළ වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පෙර නොවූ විරූ අයුරින් රුසියාවේ ජනාධිපතිවරණයට මෙවර බාධා කිරීමේ සිදුවීම් රැසක් වාර්තා වී ඇති අතර, ඡන්ද මධ්‍යස්ථාන රැසක පුටින් විරෝධවාදීන් ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට උත්සාහ දරා ඇතැයි වාර්තා වේ. ඡන්ද පෙට්ටිවලට ඩයි සහ තීන්ත පිරවීම සහ ඡන්ද මධ්‍යස්ථානවලට ගිනි තැබීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ද රුසියාවේ විවිධ ප්‍රාන්තවලින් වාර්තා වී ඇති අතර, යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරමාලාවක් එල්ල වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඔන්ලයින් ආකාරයෙන් ඡන්දය භාවිත කිරීමේ ක්‍රමය මෙවර ජනාධිපතිවරණයේදී රුසියානු ජනතාවට පළමුවරට හඳුන්වා දී ඇති අතර, ජනාධිපති පුටින් ද සිය ඡන්දය භාවිත කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයට බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ජනාධිපතිවරණයට බාධා කළ සියලු පාර්ශ්වවලට එරෙහිව පියවර ගන්නා බව පුටින් ඊයේ අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.
ජනාධිපතිවරණයේ දෙවැනි දිනය වූ පෙරේදා බෙල්ගොරොඩ් ප්‍රාන්තයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, අවසන් දිනය වූ ඊයේ උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් දකුණු රුසියාවේ තෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. මීට අමතරව ඊයේ අලුයම මොස්කව් අගනුවරට ද ඩ්‍රෝන ප්‍රහාර 35ක් එල්ල වී ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි වාර්තා වේ. යුක්රේනයට මායිම්ව පිහිටි තවත් රුසියානු නගර රැසකට ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල වී ඇති අතර, රුසියානු ජනාධිපතිවරණය ඉලක්ක කරමින් එම ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇතැයි එරට ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.






