25
ට්විටර් සමාජ මාධ්‍යජාලයට මුහම්මද් නබිවරයාට අපහාස වන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ පට මුදා හැරීමට කටයුතු කල බව කියන 22 හැවිරිදි තරුණයකුට පාකිස්තානයේ ලාහෝර් නුවර අධිකරණයකින් මරණ දඬුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එරට ආගමික අපහාස නීතිය යටතේ එම දඬුවම පනවා ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. ඔහුට අමතරව එවැනිම ආගමික අපහාසයක් ට්විටර් සමාජ මාධ්යජාලයෙන් සිදු කළ බවට චෝදනා එල්ල වූ 17 හැවිරිදි තරුණයකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්ද පනවා ඇතැයි වාර්තා වේ. පාකිස්තානයේ මුස්ලිම් ජනතාවගේ ආගමික විශ්වාසයට අවමන් කිරීමේ අරමුණින් එම අපහාස සිදු කර ඇතැයි ලාහෝර් අධිකරණය තීන්දු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළේය. පාකිස්තානයේ නීතියට අනුව ආගමික අපහාසය මරණ දඬුවම අත්වන වරදක් වන අතර, 17 හැවිරිදි තරුණයාට මරණ දඬුවම නියම කිරීම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් තීන්දු කර ඇත්තේ ඔහු බාලවයස්කරුවකු හේතුවෙන් බව ද වාර්තා වේ.