91
ඉදිරි වසර තුන ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියන 6ක අතිරේක ණයක් ඉල්ලා පාකිස්තාන හවුල් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව සාකච්ඡා වටයක් ආරම්භ කිරීමට නියමිත බව එරට ඩෝන් පුවත් සේවය වාර්තා කළේය. මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි ඩොලර් බිලියන 3ක ණය මුදලේ අවසන් වාරිකය මේ මස අගදී ලැබීමට නියමිතව ඇතැයි ද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
පැරැණි පැකේජයේ අවසන් වාරිකය සහ නව පැකේජය සම්බන්ධව පාකිස්තාන නව රජය සමඟ සාකච්ඡා කිරීමට එකඟතාව පළ කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිවේදනයක් නිකුත් කළ බව ද සඳහන් වේ.
දැඩි ආර්ථික අර්බුදයක පැටලී සිටින පාකිස්තානයේ හවුල් රජය විදේශීය ආර්ථික සහයෝගය ලබාගැනීමේ අභියෝගය සමඟ ඉදිරියේදී නව විදේශ ඇමැතිවරයකු පත් කිරීමට නියමිත අතර, ලබන මාසයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළු සඳහා සහභාගි වීම නව විදේශ ඇමැතිවරයාගේ පළමු රාජකාරිය වනු ඇතැයි ද වාර්තා වේ.






