Home Sport News Room : වසර 33කට පසුව පොලිසිය ක්ලිෆර්ඩ් කුසලානය දිනයි

News Room : වසර 33කට පසුව පොලිසිය ක්ලිෆර්ඩ් කුසලානය දිනයි

1
0

හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවති අවසන් මහා තරගයේදී ලකුණු 19-12ක සටන්කාමී ජයග්‍රහණයක් වාර්තා කළ පොලිස් ක්‍රීඩා සමාජය වසර 33කට පසු අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගැනීමට සමත් විය.

1991 වසරේදි සීඑච් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩා සමාජය ලකුණු 13-11කින් පරදවා කුසලානය දිනා ගැනීමෙන් පසු පොලිස් පිල ක්ලිෆර්ඩ් කිරුළට හිමිකම් කී පළමු අවස්ථාව මෙය විය. ආසියාවේ පැරැණිතම රග්බි තරගාවලිය ලෙස සැලකෙන වසර 113ක් පැරැණි ක්ලිෆර්ඩ් කුසලාන ඉතිහාසයේ පොලිස් ක්‍රීඩා සමාජය ශූරයන් බවට පත් වූයේ අටවැනි වරටය. මොහාන් විමලරත්නගේ නායකත්වයෙන් තරග වැදුණු පොලිස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ ජාතික රග්බි පිලේ හිටපු විශිෂ්ට පුහුණුකරුවකු වන නිල්ෆර් ඉබ්‍රාහිම්ය.

කොළඹ තුරඟ තරග පිටියේ පසුගියදා පැවති මේ තරගයේ ආරම්භයේ සිටම දෙපිලම කරට කර තරග වැදුණු අතර, පළමු මිනිත්තු 35ක කාලය ඇතුළත කිසිදු කණ්ඩායමක් ලකුණු රැස් කිරීමට සමත් නොවීම කැපී පෙනිණි. පොලිස් ක්‍රීඩා සමාජයට තරගයේ පෙරමුණ ගෙන දෙමින් ලකුණු ඉඩෝරය නිමා වූයේ හිරන්ත පෙරේරා 36 වැනි මිනිත්තුවේදී තැබූ අනගි උත්සාහක දිනුමෙන් පොලිස් පිල ලකුණු 5කින් පෙරමුණ ගැනීමෙනි. අනතුරුව පළමු භාගය නිමා වන තුරු දෙපිලටම ලකුණු ලැබීමට නොහැකි වූ අතර, දෙවැනි භාගය ආරම්භ වීමෙන් පසු 65 වැනි මිනිත්තුවේදී පොලිස් පිලේ හිටපු නායක ශානක හරිස්චන්ද්‍ර තැබූ උත්සාහක දිනුමක් ප්‍රින්ස් චාමර විසින් ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 12-0කින් පෙරමුණ ගැනීමට පොලිස් පිල සමත් විය.

දැඩි පීඩනයකට ලක්වී සිටි හැව්ලොක් පිලට පළමු උත්සාහක දිනුම ගෙන දෙනු ලැබුවේ මූෂින් ෆලීල් විසිනි. ඔහු 70 වැනි මිනිත්තුවේදී තැබූ උත්සාහක දිනුම සැමුවෙල් මධුවන්ත විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් ලකුණු 7ක් වාර්තා කිරීමට හැව්ලොක් පිල සමත් වුවද, 74 වැනි මිනිත්තුවේදී තාබිත් හෆීස් තැබූ උත්සාහක දිනුම ප්‍රින්ස් චාමර සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 19-7කින් පෙරමුණ ගත් පොලිස් පිල කුසලානයට ළඟා විය. අවසන් මිනිත්තුවේදී ජයතු රාජරත්න තැබූ විශිෂ්ට උත්සාහක දිනුමෙන් හැව්ලොක් පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගිය ද, පොලිස් පිලේ ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් නොවීය.

ෆවුස් මොහොමඩ්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here