2
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සිල්හෙට්හි පැවති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ රූපවාහිනී විනිසුරුගේ ක්‍රියාකලාපය පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය විසින් අයිසීසීයට පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. රූපවාහිනී පුනරූපණ මඟින් දැවී යෑම පැහැදිලිව පෙනෙන්නට තිබියදී රූපවාහිනී විනිසුරු මසුදූර් රහ්මාන් අත්තනෝමතික ලෙස ක්‍රියා කිරීම පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පිල අයිසීසීයට පැමිණිලි කොට ඇත. විනිසුරුවන්ගේ මෙවැනි දුර්වල විනිශ්චයන් තුළින් ඔවුන්ගේ තීරණ පිළිබඳ විශ්වාසය බිඳී යන බවද පෙන්වාදී තිබේ.
ඒ අනුව ඉදිරියේදී රූපවාහිනී විනිසුරු මසුදූර් රහ්මාන් පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පරීක්ෂණයක් පවත්වනු ඇත.
සිල්හෙට්හි පැවති දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ සිව්වැනි ඕවරයේදී ආරම්භක පිතිකරු සෞම්‍ය සර්කාර් වෙත බිනුර ප්‍රනාන්දු එවූ පන්දුවකට එල්ල කළ උඩ පන්දුවක් කුසල් පෙරේරා රැකගත් අතර පන්දුව පිත්තේ වදින ශබ්දය කඩුල්ලේ සවිකර ඇති මයික්‍රෆෝනයෙන් පැහැදිලිව අසන්නට ලැබිණි. ඒ සමඟම පිටියේ විනිසුරු ෂර්ෆුද්දූලා විසින් සෞම්‍ය සර්කාර් දැවී ගිය පිතිකරුවකු බවට ප්‍රකාශ කළද, පිතිකරු එම තීරණයට එකඟ නොවී විනිසුරු තීරණය යළි විමසීමේ ක්‍රමවේදයට පිවිසියේය. එහිදී රූපවාහිනී විනිසුරු එය නොදැවීමක් ලෙස නම් කිරීමෙන් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෝ නොසන්සුන්තාවට පත් වූහ. ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා ද සිව්වැනි විනිසුරු වෙත ගොස් තම අප්‍රසාදය පළ කළ අතර නායක චරිත් අසලංක දිගින් දිගටම රූපවාහිනී විනිසුරුගේ තීරණය පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය.
මෙවැනිම අසාධාරණයක් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සිදුවූ අතර අවසන් විස්සයි20 තරගයේ අවසන් පන්දු ඕවරයේදී යැවූ ‘නෝබෝල්’ පන්දුවක් සංඥා නොකිරීමෙන් විනිසුරු ලින්ඩල් හැනිබල් මහතා ජනතා අප්‍රසාදයට ලක් විය. එම සිද්ධියේදී නායක වනිඳු හසරංග විනිසුරුවරයා විවේචනය කළේ යැයි පවසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග 2ක තහනමක් හා සියයට 50ක තරග ගාස්තු කපා හැරීමේ දඬුවමක් පැනවිය. මේ හේතුවෙන් බංග්ලාදේශ තරගාවලියේ මුල් තරග දෙක වනිඳු හසරංගට අහිමිවී ගියේය.
බංග්ලාදේශ තරගය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙන බවත්, තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල අයිසීසීය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
“පිටියේ සිටින විනිසුරු එය දැවී ගිය බවට සංඥා කිරීම නිවැරදියි. සාමාන්‍යයෙන් රූපවාහිනි විනිසුරුවරයාට පිටියේ විනිසුරුගේ තීරණය අවලංගු කිරීමට තීරණාත්මක සාක්ෂි තිබිය යුතුයි. පිත්තේ පන්දුව වදින බව හොඳින් පෙනුණා. අපි එය විශාල තිරයේ දැක්කා. ඇත්ත වශයෙන්ම රූපවාහිනී විනිසුරු කළේ කුමක්ද කියා සොයා බැලිය යුතුයි. පිටියේ විනිසුරුවරයා දුන් තීරණය අවලංගු කිරීමට රූපවාහිනී විනිසුරුවරයාට සාක්ෂි තිබුණා කියා පෙනෙන්න නෑ” නවාස් මහතා පැවසීය.
රූපවාහිනී විනිසුරුගේ වැරදි තීරණය නොවන්නට සෞම්‍ය සර්කාර්ගේ දැවීයෑම බංග්ලාදේශයේ පළමු කඩුල්ල වීමට ඉඩ තිබිණි. එසේ වූයේ නම් තරග ප්‍රතිඵලයද වෙනස්වීමට බොහෝ සෙයින් ඉඩ තිබූ බව විචාරක මතය වේ.
ප්‍රින්ස් ගුණසේකර








