Home Sport News Room : ආනන්ද-නාලන්දා ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට සහ අනිද්දා එස්එස්සී පිටියේදී

News Room : ආනන්ද-නාලන්දා ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට සහ අනිද්දා එස්එස්සී පිටියේදී

1
0

මෙරට ප්‍රමුඛ පෙළේ බෞද්ධ පාසල් දෙකක් වන ආනන්ද- නාලන්දා විදුහල් අතර ‘සුලෝහිත සංග්‍රාමය’ හෙට (2) සහ අනිද්දා (3) එස්එස්සී පිටියේදී පැවැත්වෙයි. මෙය ආනන්ද සහ නාලන්දා ඒකාබද්ධ සංවිධායක කමිටුව මෙහෙයවන 94 වැනි මහා තරගය වේ.

ආනන්ද – නාලන්දා විදුහල් අතර, ‘සුලෝහිත සංග්‍රාමය’ වෙනුවෙන් පිටියට පිවිසෙන කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයෝ සමබර දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති හෙයින් මෙවර මහා තරගය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

ඉරුත් ගිම්ෂාන්ගේ නායකත්වයෙන් පිටියට පිවිසෙන ආනන්ද විදුහල් ක්‍රිකට් පිලට 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ රුවිෂාන් පෙරේරා එක්ව සිටින අතර, මේ තරගවාරයේ ලකුණු 628ක් ලබා ඇති කාංචන ද ලිවේරා හා ලකුණු 621ක් ලබා සිටින කිත්ම විතානපතිරණ පිතිකරණ අංශයෙන් ඉදිරියෙන් සිටිති. නායක ඉරුත් ගිම්ෂාන් ද ලකුණු 570ක් වාර්තා කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල්ගේ සොහොයුරු අයේෂ් ශෂිමාල් ද මෙවර ආනන්ද කණ්ඩායමට එක්ව සිටියි. කඩුලු රැකීමේ නිරත වන කාංචන ද ලිවේරා උඩ පන්දු 25ක් රැකගෙන හා ස්ටම්ප් කිරීම් 5කින් ප්‍රතිවාදී පිතිකරුවන්ට තර්ජනයක් ගෙනදී තිබේ. පන්දු යැවීමේදී දඟපන්දු යවන උපනායක අශිංස නයිනකේ කඩුලු 51ක්, කිත්ම විතානපතිරණ හා කවීෂ මෙන්ඩිස් කඩුලු 21 බැගින් බිඳ හෙළා සිටිති. අයේෂ් ශෂිමාල් කඩුලු 19ක් දවාගෙන දඟ පන්දු බළඇණිය ශක්තිමත් කරමින් මහා තරගයේදී පෙරැළියක් ඇති කිරීමේ සූදානමින් සිටියි.

ආනන්ද විදුහල මෙවර මුල්පෙළේ තරග 12කට සහභාගී වී ඉනිමකින් හා ලකුණු 114කින් ධර්මපාල විදුහල පරාජය කිරීමට සමත් විය. ලුම්බිණි හා සාන්ත අන්තෝනි හමුවේ පරාජයට පත්වූ අතර අනෙක් තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත් කළේය.

නාලන්දා විදුහල් ක්‍රිකට් නායක සජිත විතානගේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර, නාලන්ද කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා වන සදෙව් සමරසිංහ ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 600ක් ලබා සිටියි. මනුප මන්මිත ශතක දෙකක් සමඟින් ලකුණු 475ක් ඉක්මවා ඇති අතර ඔසඳ පමුදිත ලකුණු 300කට වැඩි සහ රිසිත ජයරත්න ලකුණු 250කට වඩා රැස් කර තිබේ.

නායක සජිත විතානගේ ද ලකුණු 250ක් ලබා සිටින දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන අතර, පන්දු යවන්නකු ලෙස කඩුලු 17ක් ද දවා ගැනීමට සමත් විය. උපනායක මිනෝද් කල්දේරා කඩුලු 38ක් දවාගත් සාර්ථකම පන්දු යවන්නා වන අතර ඔහුගේ හොඳම ලකුණු සංඛ්‍යාව ලකුණු 21කට කඩුලු 8ක් දවා ගැනීමත් සමඟ අනෙකුත් කඩුලු 5ක් දවාගෙන දඟපන්දු යවන්නකු ලෙස ඔහුගේ හැකියාව සනාථ කළේය. ඔසඳ පමුදිත, තිසර දෙව්දුනු, හසිත් රත්නායක සහ නායක සජිත විතානගේ මේ තරගවාරයේ දක්ෂතා දක්වා ඇත. නාලන්දාවට තුන් ඉරියව් ක්‍රීඩකයින් රැසක් සිටින හෙයින් මහා තරගයේදී වඩාත් හොඳින් දස්කම් දැක්වීමට බලාපොරොත්තු වේ.

නාලන්දාව මෙවර තරග වාරයේ මේ දක්වා තරග 9කට ක්‍රීඩා කර ඇති අතර ඔවුන් ධර්මපාල විදුහලට එරෙහිව ලකුණු 236කින් සහ මලියදේව පිලට එරෙහිව ඉනිමකින් සහ ලකුණු 28කින් ජයග්‍රහණ දෙකක් ලබා ගත්තේය. කටුගස්තොට සාන්ත අන්තෝනි පිල හමුවේ පමණක් පරාජයට පත්විය.

ආනන්ද විදුහල් කණ්ඩායම: ඉදිරි පෙළ (වමේ සිට) – රුවිෂාන් පෙරේරා, සංජය දේවපුර (සහාය පුහුණුකරු), ජනුදික ශ්‍රියාපාල (ප්‍රධාන පුහුණුකරු), සමන් හෙට්ටිආරච්චි (ක්‍රීඩා භාර ආචාර්ය), ආර්.ඒ.ඒ. රණසිංහ (තරග කමිටු ප්‍රධානි), රන්දික පෙරේරා (නි. විදුහල්පති), ඉරුත් ගිම්ෂාන් (නායක), ලාල් දිසානායක (විදුහල්පති), අශිංස නයිනායක (උපනායක), සංගීත් මධුරංග (නි. විදුහල්පති), ආර්.එම්.ඩී.ඩී.එන්.කේ. රත්නායක (සහකාර විදුහල්පති), වසන්ත ඉන්දික (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය), රජීව ක්‍රිෂාන් (දෙවැනි පෙළ කණ්ඩායමේ පුහුණුකරු), හසල සංඛපාල (භෞත චිකිත්සක), ඉසුරු අයේෂ්, පසු පෙළ (වමේ සිට) – කවීෂ මෙන්ඩිස්, කිත්ම විතානපතිරණ, දනිඳු සෙල්ලප්පෙරුම, ඉමේෂ් උඩවත්ත, කෙනුල් ද සොයිසා, නෙතුල එදිරිමාන්න, යසඳු කිරිඇල්ල, මිනගේ පෙරේරා, මිහින් මුණසිංහ, දිනද අතලගේ, රෂාන් ඩිලක්ෂ, දිනුර රණසිංහ, ලිත්ම පෙරේරා, කංචන ද ලිවේරා, අයේෂ් ශෂිමාල්.

නාලන්දා විදුහල් කණ්ඩායම: පුණ්‍යකාන්ත අබේගුණසේකර (සහය පුහුණුකරු), සදෙව් සමරසිංහ, මොනිෂාන් කරුණාරත්න (සහකාර ක්‍රීඩා භාර ආචාර්ය), එම්.එම්.ජේ. මාරසිංහ (තරග කමිටු ප්‍රධානි), මිනෝද් කල්දේරා (උපනායක), ඉරාන් චම්පික සිල්වා (විදුහල්පති), සජිත විතානගේ (නායක), මහේෂික විජේරත්න (නි.විදුහල්පති), කපිල නන්දකුමාර (ක්‍රීඩා භාර ආචාර්ය), යසිරු සමරකෝන්, ප්‍රසන්න දහනායක (ප්‍රධාන පුහුණුකරු), පසු පෙළ (වමේ සිට) – ඔසඳ පමුදිත, මානස ද සිල්වා, සනිතු විජේරත්න, හසිත් රත්නායක, මනුප මන්මිත, සහන් ලිත්මිණ, රිසත් ජයරත්න, පුන්සර රාජකරුණා, තිසර දෙව්දුනු, තාරුක සූරියආරච්චි, තිමත් හේරත්, රනුග වාත්තුහේවා, මිනෙව් පරණවිතාන, සත්මිණ සේරසිංහ.

ප්‍රින්ස් ගුණසේකර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here