17
නිපුන් කරුණානායක ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී රැස් කළ මංගල ශතකය අපතේ යවමින් එන්එස්එල් එක්දින ක්‍රිකට් ආරම්භ කරමින් ඊයේ පැවති තරගයකදී යාපනය කණ්ඩායම පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.
එන්එස්එල් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් යාපනය කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 310ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොළඹ ක්‍රීඩකයෝ පන්දු 15ක් ඉතිරිව තිබියදී ජය හිමි කර ගත්තේ කඩුලු 7ක් පමණක් අහිමි කර ගනිමිනි.
කොළඹ ඉනිමේ මුල් කඩුලු 2ක ලකුණු 22ක් තුළ බිඳ වැටුණද අංක 5 පිතිකරු ලෙස පිටියට පිවිසි අශේන් බණ්ඩාර අර්ධ ශතක සබඳතා දෙකක් සමඟ ඉනිම ගොඩනැඟීය. ඉන් පෙර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ක්‍රිෂාන් සංජුල සහ නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 97ක සබඳතාවක් ගොඩනැඟූ අතර, සංජුල ලකුණු 47කටත්, නුවනිඳු ලකුණු 61කටත් දැවී ගියහ.
5 වැනි කඩුල්ලට විසාඩ් රන්දික සමඟ එක්ව ලකුණු 73ක් එක්කළ අශේන් බණ්ඩාර 8 වැනි කඩුල්ලට තරිඳු රත්නායක සමඟ ලකුණු 78ක නොබිඳුණු සබඳතාවක් පිහිටුවීය. රන්දික ලකුණු 54ක් සහ තරිඳු නොදැවී ලකුණු 37ක් රැස් කළ අතර, අශේන් නොදැවී ලකුණු 80ක් රැස් කළේ පන්දු 66කදී හතරේ පහර 10ක් සමඟිනි.
පළමුව පන්දුවට පහරදුන් යාපනය පිල වෙනුවෙන් හසිත බෝයගොඩ හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟ පන්දු 91කින් ලකුණු 86ක් රැස් කළ අතර, ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී සිය මංගල ශතකය රැස් කිරීමට නිපුන් කරුණානායක සමත් විය.
හසිත බෝයගොඩ සමඟ ලකුණු 97ක් ඉනිමට එක් කළ නිපුන්, ජනිත් ලියනගේ (15) සමඟින් ලකුණු 53ක සබඳතාවක් පිහිටුවූවේය. ඉනිම නිමා වන විට පන්දු 119කට මුහුණ දී තිබූ නිපුන් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 108ක් රැස් කර තිබිණි.
පළමු පෙළ තරග 104ක් ක්‍රීඩා කරමින් ද්විත්ව ශතකයක් ද සමඟ ශතක 10කට හිමිකම් කියන 33 හැවිරිදි නිපුන් කරුණානායක ‘ඒ’ කාණ්ඩයෙන් ශතකයක් රැස් කළේ සිය 59 වැනි තරගයේදීය.
මේ අතර එන්එස්එල් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල ලකුණු 146කට සීමා කළ මහනුවර ක්‍රීඩකයෝ ඕවර 23.2කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් දැවී තිබියදීය.
කමිල් මිෂාර නොදැවී ලකුණු 66ක් සහ චමෝද් සඳරු නොදැවී ලකුණු 33ක් රැස් කරමින් මහනුවර ජය තහවුරු කළහ.
මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල පිල වෙනුවෙන් ශෙහාන් ප්‍රනාන්දු නොදැවී ලකුණු 66ක් රැස් කළ අතර, වෙනත් කිසිදු පිතිකරුවකුට ලකුණු 20 සීමාවට පිවිසීමට මහනුවර පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි. ඉන් මුල් පෙළ පිතිකරුවන් 6 දෙනා සමඟ පිතිකරුවෝ 7කටම ලකුණු 10 පසු කිරීමට නොහැකි වූහ. පන්දු යැවීමේදී ළහිරු කුමාර කඩුලු 3ක් සහ චාමික ගුණසේකර කඩුලු 2ක් දවා ගත්හ.
තරගාවලියේ දෙවැනි දිනය යටතේ මේ 26 වැනිදා කොළඹ – දඹුල්ල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත්, මහනුවර – යාපනය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීත් තරග වැදීමට නියමිතය.
කොළඹට ජය
යාපනය – 310/6 (ඕවර 50) නිපුන් කරුණානායක නොදැවී 108, හසිත බෝයගොඩ 86 (කසුන් රාජිත 62/2)
කොළඹ – 312/7 (ඕවර 47.3) අශේන් බණ්ඩාර නොදැවී 80, නුවනිඳු ප්‍රනාන්දු 61, විසාඩ් රන්දික 54, ක්‍රිෂාන් සංජුල 47, තරිඳු රත්නායක නොදැවී 37 (ශිරාන් ප්‍රනාන්දු 47/2, ප්‍රමෝද් මධුෂාන් 57/2)
මහනුවරට ජය
ගාල්ල – 146 (ඕවර 44.4) ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 66 (ළහිරු කුමාර 31/3, චාමික ගුණසේකර 17/2)
මහනුවර 147/2 (ඕවර 23.2) නිරෝෂන් දික්වැල්ල 30, කමිල් මිෂාර නොදැවී 66, චමෝද් සඳරු නොදැවී 33
නිරෝෂාන් ප්‍රියංකර