Home Sport News Room : අවමන් සහගත පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා විනිසුරුවෝ ඇෆ්ගනිස්තානයට උදව්...

News Room : අවමන් සහගත පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකා විනිසුරුවෝ ඇෆ්ගනිස්තානයට උදව් කරති

1
0

විමලසිරි – හැනිබල් විනිසුරුවෝ දැඩි රැකවල් මැද රැගෙන යති

අන්තිම තරගයෙන්ශ්‍රී ලංකා පිලට ලකුණු 3ක සියුම් පරාජයක්

සංචාරක ඇෆ්ගනිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ඇෆ්ගනිස්තානය ලකුණු 3ක සියුම් ජයක් හිමි කර ගෙන අවමන් සහගත තරගාවලි පරාජයෙන් ගැලවී ගියේය. මෙවර සංචාරයේ පැවති ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගාවලි සියල්ලම ශ්‍රී ලංකාව ජය වාර්තා කරද්දී ඇෆ්ගනිස්තානය ලැබූ එකම තරග ජයග්‍රහණය ඊයේ වාර්තා විය.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද ඊයේ පැවති තරගයේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය ලැබීය. මෙයට දින කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පැවති එක්දින තරගාවලිය 3-0ක් ලෙස හා එකම ටෙස්ට් තරගය දිනයක් ඉතිරිව තිබියදී කඩුලු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්වී එක දිගට ජයග්‍රහණ ලබා සිටියහ.

මේ තරගයේ අවසන් ඕවරයේදී ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය පිණිස ලකුණු 19ක් ලබාගත යුතුව තිබූ අතර, වේග පන්දු යෑවූ වෆාර්ඩාර්ගේ පළමු පන්දුවට කමිඳු මෙන්ඩිස් හතරේ පහරක් එල්ල කළේය. දෙවැනි පන්දුව යෝකර් එකක් වූ බැවින් ලකුණ වාර්තා නොවුණි. තෙවැනි පන්දුවට ‘ඩිල්ස්කූප්’ පහරකින් ලකුණු 4ක් එල්ල වූ අතර, ඊළඟ පන්දුව කමිඳු මෙන්ඩිස්ගේ උදරයට ඉහළින් ඇදී ගිය බැවින් ක්‍රිකට් නීති පොත අනුව නිපන්දුවක් වුවද, ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි හා ‘ලෙග් අම්පයර්’ ලින්ඩන් හැනිබල් විනිසුරු දෙපලම මුහුණට මුහුණ බලා නිහඬව සිටියහ.

එවැනි තීරණාත්මක අවස්ථාවකදී විනිසුරුගෙන් ඒ ආකාරයේ ප්‍රබල වරදක්වීම අදහාගත නොහැකි විය. අවසන් පන්දුවේදී ලකුණු 10ක් ලබාගත යුතු වුවද කමිඳු මෙන්ඩිස් ‘ඩීප් මිඩ් විකට්’ හරහා දැවැන්ත 6ක් එල්ල කළ අතර, එම උත්සහයෙන් පලක් නොවිණි. තරගය නිමවීමෙන් පසු ප්‍රේක්ෂකයන්ගෙන් විනිසුරුවන් දෙපලටම දෝෂාරෝපණ සහිත උණුසුම් ප්‍රතිචාර හිමිවනු දක්නට ලැබිණි. එබැවින් තරගයේ විනිසුරුවන් දෙපල විශේෂ ආරක්ෂාවක් යටතේ ක්‍රීඩා පිටියෙන් ඉවතට ගෙන යෑමට සිදු විණි.

කමිඳු මෙන්ඩිස් තම කුලුඳුල් විස්සයි20 අර්ධ ශතක වාර්තා කළ අතර, පන්දු 39කදී හයේ පහර 2ක් හා හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 65ක් ලබා ගැනීමට සමත් වූවේය. අකිල ධනංජය නොදැවී ලකුණු 4ක් ලබා සිටියේය.

පිට පිට තෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන විස්සයි20 නායක ඉබ්‍රහිම් සද්‍රාන් මෙවර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ හෙයින් කඩුලු 5කට ලකුණු 205ක් වාර්තා විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 20කදී කඩුලු 6කට ලකුණු 206ක් ලබා ගත්හ. ඇෆ්ගනිස්තානය විස්සයි20 තරගයකදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් වැඩිම ලකුණු ගණන මෙය වූ අතර. මෙයට පෙර 2022දී සාජා පිටියේ කඩුලු 6කට ලකුණු 175 වාර්තා පොතෙන් මැකී ගියේය.

මෙයට පෙර පැවති එක්දින තරගාවලියේ ‘වැඩකාරයා’ වූ පැතුම් නිශ්ශංක තම 10 වැනි විස්සයි20 අර්ධ ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වූ අතර, 9 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට යෝධ හයක් එල්ල කිරීමෙන් අනතුරුව පාදයේ අබාධයකින් ක්‍රීඩාගාරයට යෑම ශ්‍රී ලංකා පිලට අවාසිදායක විය. පැතුම් ඉවතට යද්දී පන්දු 30කදී හයේ 2ක් හා හතරේ පහර 8ක් වාර්තා වී තිබිණි. එහෙත් සදීර සමරවික්‍රම හා කමිඳු මෙන්ඩිස් එක්ව සිවුවැනි කඩුල්ලට පන්දු 33කදී ලකුණු 53ක සබදතාවක් ගොඩනැඟීමෙන් ශ්‍රී ලංකා ඉනිම යළි ජීවය ලැබීය. සදීර ලකුණු 23ක් ලබා සිටියදී ක්වයිස් අහමඩ්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක මොහොමඩ් ඉෂාක් අතට උඩ පන්දුවක්දී දැවී ගියේය.

ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරු යුගලය වූ හස්රතුල්ලා සසායි හා රහ්මනුල්ලා ගුර්බාස් පන්දු 44කදී වේගවත් ලකුණු 88ක සම්බන්ධතාවක් ගොඩනැඟූ අතර, සසායි අර්ධ ශතකයට ලකුණු 5ක් අඩුවෙන් තිබියදී අකිල ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ අතර, ලකුණු 10ක් ලබා සිටි සද්‍රාන්ගේ උඩ පන්දුව ‘ලෝන්ග් ඕන්’හි සිටි නායක හසරංග දවා ගැනීමෙන් අකිලට දෙවැනි කඩුල්ල හිමි විය. පන්දු 43කදී හයේ පහරක් හා හතරේ පහර 7ක් සමඟ ලකුණු 70ක් ලබා ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ රහ්මනුල්ලා ගුර්බාස් දවා ගැනීමට හසරංග සමත් වූයේ සදීර සමරවික්‍රම ‘ලෝන්ග් ඕන්’හි හතරේ සීමාව අසලදී අලංකාර උඩ පන්දුවක් රැක ගැනීමෙනි.

ඇෆ්ගනිස්තාන ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 182ක්ව තිබියදී පන්දුව අතට ගත් මතීෂ පතිරණ පිට පිට පන්දු දෙකකදී අසමතුල්ලා ඔමර්සායි හා කරීම් ජානාට් යන දෙදෙනාම ක්‍රීඩාගාරයට යැවීමෙන් ලකුණු වේගය අඩුවී ගියේය.

මේ තරගයේදී කණ්ඩායම් දෙකේම බොහෝ වෙනස්කම් සිදුව තිබූ අතර, අවසන් විස්සයි20 තරගය බැවින් එය විශාල පුදුමයක් නොවේ. 19 හැවිරිදි මොහොමඩ් ඉෂාක් අද ඇෆ්ගනිස්තානය වෙනුවෙන් සිය මංගල විස්සයි20 තරගයට සහභාගි වන අතර, කුසල් ජනිත්, කමිඳු මෙන්ඩිස්, අකිල ධනංජය හා නුවන් තුෂාර කණ්ඩායමට ඇතුළත් වූහ, කලින් තරගයට ක්‍රීඩා කළ උප නායක චරිත් අසලංක, ධනංජය ද සිල්වා, මහීෂ් තීක්ෂණ හා බිනුර ප්‍රනාන්දු ඊයේ තරගයේ විවේක ගන්වා තිබිණි.

ඡායාරූප – සුදත් නිශාන්ත

ඇෆ්ගනිස්තානය

හස්රතුල්ලා සසායි ක.මු.ක. ප.අකිල 45

රහ්මනුල්ලා ගුර්බාස් ඇ.සදීර ප.හසරංග 70

ඉබ්‍රාහිම් සද්‍රාන් ඇ.හසරංග ප.අකිල 10

අසමතුල්ලා ඔමර්සායි ඇ.පෙරේරා ප.පතිරණ 31

මොහොමඩ් නබී නොදැවී 16

කරීම් ජානාට් ප.පතිරණ 0

මොහොමඩ් ඉෂාක් නොදැවී 16

අතිරේක 21

එකතුව 5ක් දැවී (ඕවර 20) 209

කඩුලු බිඳ වැටීම: 1-88, 2-113, 3-141, 4-182, 5-182

පන්දු යැවීම: මැතිව්ස් 2-0-21-0, තුෂාර 4-0-48-0, පතිරණ 4-0-42-2, අකිල 4-0-37-2, හසරංග 4-0-35-1, ශානක 2-0-16-0.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ආබාධකින් ඉවත්වුණා 60

කුසල් මෙන්ඩිස් ඇ.අෂ්රෆ් ඇ.ෆරීඩ් 16

කුසල් පෙරේරා ක.මු.ක. නූර් 0

වනිඳු හසරංග ඇ.ඉබ්‍රහීම් ප.නබි 13

සදීර සමරවික්‍රම ඇ.ඉෂාක් ප.ක්වයිස් 23

කමිඳු මෙන්ඩිස් නොදැවී 65

ඇන්ජලෝ මැතිව්ස් ඇ.ක්වයිස් ප.නබි 4

දසුන් ශානක දුවද්දි දැවී ගියා 13

අකිල ධනංජය නොදැවී 4

අතිරේක 8

එකතුව කඩුලු 6ක් දැවී (ඕවර 20) 206

කඩුලු බිඳ වැටීම: 1-64, 2-65, 3-93, 4-146, 5-151, 6-187

පන්දු යැවීම: වෆාර්ඩාර් 3-0-35-0, ඔමර්සායි 4-0-42-0, ෆරීඩ් 2-0-30-1, නූර් 4-0-37-1, නබී 4-0-35-2, ක්වයිස් 2-0-17-1, කරීම් 1-0-9-0.

 

ප්‍රින්ස් ගුණසේකර

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සිට…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here