Home Politics News Room : සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය විශේෂ තීරණ රැසක් ගනී

News Room : සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය විශේෂ තීරණ රැසක් ගනී

2
0

ඉදිරි ජනාධිපතිවරණයකදී තම පක්ෂයෙන් වෙනම අපෙක්ෂකයකු ඉදිරිපත් කිරීමට සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

ඔහුගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමඟි ජන බලවේගය ප්‍රමුඛ වූ පුළුල් සන්ධානයක් ගොඩනැ‍ඟීමට කටයුතු කළයුතු බවටත්, එම සන්ධානය ගොඩනැ‍ඟීම සඳහා පක්ෂ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සම්පූර්ණ බලය පැවරීමටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කර ඇත.

ඊයේ (08) රැස්වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මීට අමතරව තවත් විශේෂ යෝජනා කිහිපයක් ඒකමතිකව සම්මත කර ගෙන තිබේ.

ආණ්ඩුව සමඟ එක්නොවිය යුතු බවටත්, තනතුරු ලබා නොගතයුතු බවටත් සමඟි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

යම් හෙයකින් එවැනි ජන පීඩක ආණ්ඩුව සමඟ එක්වීමක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීම හෝ එවැනි යෝජනා ගෙන ඒම ජනතාවගේ නාමයෙන් කරනු ලබන බලවත් වරදක් හෙයින් එවැන්නක් නොකළයුතු බවටත් එවැන්නක් සිදුකිරීම සපුරාම තහනම් බවටත් කෘත්‍යාධිකාරි මණ්ඩලය ඒකමතිකව තීන්දු කරනු ලැබීය.

කෙසේ වෙතත් රටට හිතැති ප්‍රගතිශීලී කටයුතු පිළිබඳ සහාය ලබාදීමේ දී පක්ෂයක් ලෙස සාකච්ඡා කොට තීන්දු ගනු ලැබේ.

පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ තීරණවලට එරෙහිව කටයුතු කරන ඕනෑම අයකුට එරෙහිව පක්ෂයේ ව්‍යවස්ථාවට අනුකූලව අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් බලය පවරන ලදී.

රක්ෂණ ශ්‍රියන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here