Home Politics News Room : ජනතාව මුලා කිරීමෙන් සිදු වන්නේ රට තවදුරටත් විනාශ වීමයි

News Room : ජනතාව මුලා කිරීමෙන් සිදු වන්නේ රට තවදුරටත් විනාශ වීමයි

3
0

පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන

දේශපාලන නායකයන් තවදුරටත් වේදිකාවල නැඟ මහජනතාව මුලා කිරීමෙන් සිදු වන්නේ රට තවදුරටත් විනාශ වීම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ ගාල්ලේදී පෙරේදා (04) මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වූ වහාම වැටුණු රට ගොඩගැනීමට ගත් පියවර නිසා ලෝකයට ආදර්ශයක් දෙමින් රට ඉක්මනින්ම ගොඩගැනීමට හැකි වූණා. ඉදිරියේදීත් රට ලෝකය හමුවේ ඔසවා තැබීමට නම් ජනාධිපතිවරයාට සියලු දෙනාම සහයෝගය දිය යුතුයි. 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියත් වැඩක් වෙලා නෑ කියලා ඇතැම් අය කියනවා. 16 වතාවක් නෙමෙයි සිය වතාවක් ගියත් අරමුණ සාක්ෂාත් කිරීමට ක්‍රියා කරන්නේ නැතිනම් සාර්ථක වෙන්නේ නෑ. මෙරට දේශපාලන පක්ෂ දිගින් දිගටම ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බොරු කියලා තිබෙනවා. මේ ආකාරයට දිගින් දිගටම බොරු කියමින් මෙරට දේශපාලන පක්ෂවලට තවදුරටත් ඉදිරියට ගමන් කරන්න හැකියාව ලැබෙන්නේ නෑ.

දේශීය ව්‍යාපාරිකයන් පොහොසතුන් බවට පත් වෙලා තිබෙන්නේ ණය ගෙන. ඔවුන් ඒ ගත් ණය අදාළ අරමුණ වෙනුවෙන් භාවිත කර තිබෙනවා. මුලින් දහස් ගණනින් ණය ගන්න අය පසුව බිලියන ගණනින් ණය ගනිමින් මහා පරිමාණ ව්‍යාපාර කරමින් පොහොසතුන් බවට පත් වෙලා තිබෙනවා.

රටක් වුණත් ක්‍රියා කළ යුත්තේ මේ ආකාරයටමයි. ගන්න ණය දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ භාවිත කළ යුතුයි. නමුත් මේ වනතුරු දේශපාලන පක්ෂ නායකයන් වේදිකා උඩ විනෝදයට යම් යම් කාරණා කියමින් මහජනතාව මුලා කළා. මේ නිසා මුළුමහත් රටක්ම කඩාගෙන වැටුණා. මෙතැනින් ඉදිරියට ගමන් කළ හැකි වන්නේ සත්‍යයෙන් පමණයි. සියලු දෙනාම ඒකරාශීවී ජාතික ප්‍රතිපත්තියකට එකඟ වෙමු කියා ජනාධිපතිවරයා කියන්නේ ඒ නිසයි. දේශපාලන පක්ෂ රට සමඟ සිට ගත යුතුයි. වෙනත් විදේශ බලවේග සමඟ සිට ගැනීම නොකළ යුතුයි. සියයට 33ක් වන සමාජයේ සිටින දුක් විඳින ජනතාව අරක්ෂා කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග වහාම ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාවේ සඳහන් කර ඇති ආකාරයට ජනාධිපතිවරයා දැනටමත් ඒ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා.

ඒ අනුව ඉදිරියේදී ඒ ජනතාව ශක්තිමත් වේවි. රටක් බංකොලොත් වූ පසු නැවත ඒ රට ඉක්මනින් නඟාසිටුවන්නේ කොහොමද කියලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මුළු ලෝකයටම ආදර්ශයක්දී තිබෙනවා.

මේ සත්‍ය රටේ මහජනතාව අවංකව තේරුම් ගත යුතුයි. වැටුණු රට ගොඩගන්න විසඳුමක් ඉදිරිපත් කළ එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. විසඳුම ඉදිරිපත් කළ පුද්ගලයාට අපහාස කර, විවේචනය කර වැඩක් නෑ. ඔහුත් සමඟ සාකච්ඡා කර අප ඉදිරියට යා යුතුව තිබෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකට එකතුවී ජාතික එකඟතාවක් නිර්මාණය කර එයින් රට ලෝකය හමුවේ ඉදිරියට ගෙන යෑමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහයෝගය දක්වමු.”

ශිරෝමි අබයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here