Home Politics News Room : ආයෝජන ප්‍රතිපත්තියක්-නීතියක් හඳුන්වාදීමට විද්වත් කමිටුවක්

News Room : ආයෝජන ප්‍රතිපත්තියක්-නීතියක් හඳුන්වාදීමට විද්වත් කමිටුවක්

3
0

රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම

ස්ථාවර ආයෝජන ප්‍රතිපත්තියක් සහ ඒකාබද්ධ ආයෝජන නීතියක් හඳුන්වාදීමට විශේෂඥ දැනුමෙන් සපිරි කමිටුවක් පත් කර ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පැවැසීය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ පැවති රැස්වීමක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“ආයෝජනය සඳහා ආසියානු කලාපයේ පහසුම සහ ආකර්ෂණීයම රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අපේක්ෂාවයි. ආයෝජකයකු පැමිණි පසු අපහසුවෙන් තොරව තම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි නව වැඩපිළිවෙළක් හඳුන්වාදීම මෙයින් අපේක්ෂා කරනවා. ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ආ‍යතනවල උපදේශකත්වය ද මේ සඳහා ලැබෙමින් පවතිනවා.

ඉතා කෙටි කලකදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විවිධ සේවාවන් තවදුරටත් නම්‍යශීලි කිරීමට හැකිවී තිබෙනවා. ඒ වෙනුවෙන් නව පියවර කිහිපයක් දැනටමත් ගෙන තිබෙනවා. ආයෝජක පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවීම, තොරතුරු තාක්ෂණ සේවා සමාගම් 100 ආකර්ෂණය කරගැනීමට ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම, දැනට පවතින ආයෝජන මණ්ඩලයේ සමාගම් 50ක් ප්‍රතිආයෝජනය කිරීමට දිරිගැන්වීම මේ අතර තිබෙනවා.

ඒ වගේම හඳුනාගත් අංශ සඳහා උපදේශක සභා පිහිටුවීම, ප්‍රධාන ආයෝජක සේවා ඩිජිටල්කරණය, ජාත්‍යන්තර හරිත ප්‍රමිතීන් සපුරාලීමට පවතින කලාප නවීකරණය කිරීම, හවුල්කාරීත්ව සොයාගැනීමේ දත්ත ගබඩාව හඳුන්වාදීම, පස් අවුරුදු නේවාසික වීසා වැඩසටහන ආදී පහසුකම් රැසක් මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා. ගත වූ 2022 වසර නිදහසින් පසු පැමිණි වඩාත් අසීරුතම වසර වුවත් එම වසරේ ද අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ ආයෝජනයන් ගෙන ඒමට හැකි වූණා. ඒ වගේම මේ වසරේ අපේක්ෂිත අමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉලක්කය සපුරාගැනීමට ද හැකියාව තිබෙනවා. ඒ සඳහා අනාගත අවශ්‍යතාවලට සරිලන ලෙස සියලු අංශවල සාධණීය ප්‍රතිසංස්කරණ සිදු විය යුතුයි. ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා.” මේ අවස්ථාවට හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ප්‍රධාන මූල්‍ය පරිපාලක රේමන්ඩ් මූ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

නුවන් කොඩිකාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here