එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමමෙන් සිදු වූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ දී ඊයේ (25) ගොනු කිරීමට නියමිතව තිබු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අැමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
තවදුරටත් ඇමැතිවරයා මෙසේද පැවසිය.
නඩු පැවරීම සම්බන්ධයෙන් ආංශික කාරක සභාව පැවැත් වූ රැස්වීමෙන් වන්දි ලබා ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කිරීමට ගත් ප්‍රයත්නයක් බවට පැහැදිළි වෙනවා. එහෙම අගතියක් සිදුවුණොත් මේ ආංශික අධීක්ෂණ සභාව සහ ඒ කැඳවපු අය එම වගකීම භාරගත යුතුයි.
ඒ ක්‍රියාවළිය පිළිබඳව සිය අප්‍රසාදය පළකරනවා. මේ සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ මෙම විෂය පිළිබඳව ප්‍රවීණත්වයක් ඇති ස්පාර්ක් හෙල්මෝ ලෝයර්ස් කියන නීතිඥ ආයතනයෙන් උපදෙස් ලබාගෙන තිබෙනවා නීතිපති දෙපාර්තමේන්තුව. ඒ උපදෙස්වලට අනුකූලව සහ ස්වාධීනව කරුණු ගවේෂණය කිරීමෙන් අනතුරුව සිංගප්පූරු අධිකරණයේ නඩු පැවරීමේ කටයුතු ඩෙන්ස්ටන් රොඩික් ඇන්ඩ් ඩේවිඩ්සන් එල්.එල්.බී කියන ආයතනය සිදු කිරීමට නියමිතයි. මේ වන විට සියලු කටයුතු අපි සිදු කරමින් තිබෙනවා. මෙම නඩුව 25 වැනිදා සිංගප්පූරු අධිකරණයේදී පැවරීමට නියමිතයි.





