Home Politics News Room : ශ්‍රීලන්කන් එයාර්ලයින් ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක සුරක්ෂිතතාවට මුල් තැන දෙනවා

News Room : ශ්‍රීලන්කන් එයාර්ලයින් ප්‍රතිව්‍යූහගත කිරීමේදී සේවක සුරක්ෂිතතාවට මුල් තැන දෙනවා

2
0

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

ශ්‍රීලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ දී සේවක සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම විෂය භාර ඇමැතිවරයා ලෙස සිය ප්‍රමුඛතාවය බව වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේ දී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

කවුරුන් මෙය ගත්තද සේවක සුරක්ෂිතභාවය තහවුරු කරන බවට එකඟ විය යුතු බව හෙතෙම කීවේය.

රජයට ව්‍යපාර කළ නොහැකි බවත් එහෙත් සමහරු පැරණි දේවල්වල එල්බගෙන ආණ්ඩුව එය කළ යුතුයැයි සිතන බවත් ඇමැතිවරයා කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මීට පෙර අන්තර් ජාතික මූල්‍ය අරමුදල මඟින් අප වෙත පැන වූ නීති ගැන ඔවුන් මීට පෙර කිසි සොයා බැලීමක් කළේ නැහැ කියලා. අපිත් පිළිගන්නවා එහෙම කරන්න ඕන. ඒ කොන්දේසිවලට අනුව අපිම බලා කටයුතු කළ යුතුයි. පටු දේශපාලන මතිමතාන්තර ඔළුවේ තියාගෙන මිනිස්සු මැරිලා හරි අපිට බලයට පත් වෙන්න ඕන කියලා හිතන අය එක්ක මේ දේශපාලනය කරන්න බැහැ. විපක්ෂයේ සමහරු කිව්වා මේ අයිඑම්එෆ් එකට කලින් නොගිය එක වැරැද්දක් කියලා. අපිත් කැබිනට් එකට ඒ දේ කිව්වා. ඒකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලයේ සමහර ඇමැතිවරු කැමැති වුණේ නැහැ. අද ඒ අය ඉන්නේ විපක්ෂයේ. ඒ අයයි කෑගහලා කිව්වේ අයිඑම්එෆ් යනව නම් අපි අයින් වෙනවා කියලා. මෙවැනි දෙබඩි ප්‍රතිපත්තියක්. ඒකේ ප්‍රතිඵලය වුණේ විශාල ජයග්‍රහණය ලබලා හිටපු ගෝඨාභය රාජපක්ෂ මහත්මයට ගෙදර යන්න වුණා. එදා අයිඑම්එෆ් ගියා නම් පෝලිම් යුගයක් ඇති වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා එක් ඡන්දයක් අරගෙන මේ රටේ ජනාධිපති වෙන්න වාසනාව තිබුණා. මම විපක්ෂ නායකවරයාගේ කාමරේට ගිහින් පැය තුනක් තිස්සේ කිව්වා මේ අගමැතිකම ගන්න කියලා. එහෙම ගත්ත නම් අද ජනාධිපති. එහෙම වාසනාවක් නැති වීම ගැන අපිට කරන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්මයා කිව්වා මම මගේ පක්ෂය, දේශපාලනය ගැන හිතන්නේ නැහැ. මට අවශ්‍ය රටයි කියලා. එතුමා ජනප්‍රිය නොවන තීන්දු ගත්තා. එතුමා ගත්ත ගමන් මඟ හරි.


IMF ණය ආර්ථිකය ගොඩනංවාගැනීමට ලැබුණු සහනයක්

ඇමැති රමේෂ් පතිරණ

වාර්ෂිකව ඇමරිකන් ඩොලර් 10ක්ව පැවැති අපනයන ආදායම පසුගිය වසර වන විට ඇමරිකන් ඩොලර් 12.5ක් දක්වා වැඩි වී ඇතැයි වැවිලි හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පෙරේදා (23) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේ දී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එය සාපේක්ෂ වශයෙන් තිබුණ තත්ත්ව හා සන්සන්දනය කිරීමේ දී සුබදායී තත්ත්වයක් බව හෙතෙම කීවේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මුදලක් ලෙස විශාල අගයක් නොවුණත් ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථිකය ගොඩනඟා ගැනීමට ලැබුණු සහනයක් ලෙස මෙම ණය මුදල දකිනවා.

පසුගිය කාලයේ බදු ප්‍රතිපත්තිය නිසා රටට ආදායම අහිමි වුණා කියලා චෝදනාවක් එල්ල වුණා. එහි ප්‍රතිඵලයක් විදියට බොහෝ කටුක දේට මුහුණ දෙන්න සිදු වුණා. එහෙත් දැන් නැවතත් නව බදු ප්‍රතිපත්තියක් එක්ක ගමන් කරන්න හදද්දි ඇතැම් පිරිසක් ඊට එරෙහිව විරෝධතා දක්වන්න පටන්ගෙන තිබෙනවා. අපි ගත්ත ජනප්‍රිය නොවන තීන්දු රට කඩා වැටෙන්න හේතු වුණා. එම නිසා උද්ඝෝෂණය කරන අයගෙන් ඉල්ලා සිටිනවා මේ සඳහා සහාය දෙන්න. තවත් මාස 06ක් ගත වුණ තැන යළි බදු සංශෝධනයක් කරලා සහන දෙන්න පුළුවන් කියන තැන අප ඉන්නවා.


සමෘද්ධි හිමිකරුවන් තේරීමේදී වතු ජනතාව අමතක කරලා

ඇමැති ජීවන් තොන්ඩමන්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට හේතු වූයේ දිගින් දිගටම සිදු වූ සොරකම් බව පිළිගත යුතු බවත් තව දුරටත් ජනතාවට සැඟවීමෙන් තොරව සත්‍යය ප්‍රකාශ කළ යුතු බවත් ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

ජනතාව නොමඟ යැවීම තුළින් සිදු වූ දේවල් දුටු බවත් සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු සැබෑම හිමිකරුවන් වන වතු ජනතාව අමතක කර දමා ඇති බවත් හෙතෙම පැවසීය. එබැවින් අලුතින් හඳුන්වා දීමට නියමිත සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩසටහන අතිශය වැදගත් බවද ඇමැතිවරයා පැවැසීය.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා මෙසේද පැවසීය.

අපි මිනිසුන් නොමඟ යැවිය යුතු නැහැ. සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. පසුගිය කාලය පුරාම රට තුළ විවිධ ප්‍රශ්න ඇති වුණා. ඉන්ධන, විදුලිය, ගෑස් ප්‍රශ්න රැසක් අති වුණා. ඒ දේවල් ගැන අපි දැක්කා. අපි මේ ගැන රටට ඇත්ත කිව යුතුයි. වතු ජනතාවගේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් වතු සමාගම් උදවු කරන ප්‍රමාණය අඩුයි. දණ්ඩනීති සංග්‍රහය වෙනස් කිරීම උදෙසා ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ගෙන ආ යෝජනාවට අප පක්ෂයේ සහාය හිමි වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පිළිබඳව අපි සාකච්ඡා කළා.


ඡන්දෙට සල්ලි දෙනවාද නැද්ද කියා අගමැතිවරයා කෙළින් කියන්න

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියා අගමැතිවරයා එක වචනෙකින් සෘජුව උත්තර දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) කියා සිටියේය.

අගමැතිවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

2023 අය වැයේදී මැතිවරණය වෙනුවෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති අතර ඒ බිලියන 10 මැතිවරණ කොමිසමට ලබාදී මැතිවරණය පවත්වන්න රජයට වගකීමක් තිබෙන බවත් විපක්ෂ නායකවරයා පැවැසීය.

“ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන්න නියෝගය ක්‍රියාත්මක කරන්න රජයේ සහයෝගය ලැබෙනව ද නැද්ද? එහෙම නැතුව වරප්‍රසාද ප්‍රශ්න ඉදිරිපත් කර මේ රටේ අධිකරණයේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරප්‍රසාද කමිටුවට ගෙනවිත් ඒ අයගේ චරිතය ඝාතනය කිරීමේ උත්සහයක නියැළෙනවා. අගමැතිවරයා ළඟ සේවය කරපු හපුහින්න මහත්මයා 39 වසරක රාජ්‍ය සේවාව තුළ තැන් 39කටම ගිහින් තිබෙනවා. දැන් ජනාධිපති ලේකම් කාර්යාලයට යවලා තිබෙනවා. ඉතාම අසාධාරණ ක්‍රියාවක්. රාජ්‍ය සේවකයෝ විශාල ප්‍රමාණයක් මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ අයටගේ වැටුප් සහ දීමනා එලෙසම ලබාදෙන්න කටයුතු කරන්නේ නැත්තේ ඇයි?.


අවිනිශ්චිතව කටයුතු කිරීම පිළිබඳව මැතිවරණ කොමිසම කැඳවා සාකච්ඡා කරනවා

අගමැති දිනේෂ් ගුණවර්ධන

අවිනිශ්චිතව කටයුතු කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉදිරි දිනවලදී කැඳවා සාකච්ඡා කිරීමට අගමැතිවරයා ලෙස තමන් අපේක්ෂා කරන බව අගමැති සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් සභා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

අප්‍රේල් මුල අවුරුද්දට පෙර රජයේ සේවකයන්ට වැටුප් දෙකක් ගෙවීමට ඇති නිසා ලැබෙන ආධාරවලින් කොටසක් ලෙස හෝ එම වැටුප් ගෙවන බවද අගමැතිවරයා කියා සිටියේය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමට මුදල් ලබාදීම ගැන විපක්ෂ නායකවරයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග කිහිපයක් පවතිනවා. විරුද්ධ පක්ෂ නායකවරයා සඳහන් කරපු මද්දුම භාණ්ඩාර මහතා නඩු කීපයක් ඉදිරිපත් කර තිබෙනවා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට භාණ්ඩාගාර ලේකම්වරයා විසින් කරුණු ඉදිරිපත් කරලා ති‍බෙනවා. මැතිවරණ කොමිසමත් කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතින් එම තීරණවල ක්‍රියාමාර්ග අනුව කටයුතු කරාවි. මට කියන්න තිබෙන්නේ එපමණයි. අධිකරණයේ පවතින කරුණු ගැන මම සාකච්ඡා කරන්නේ නෑ


ධනපති පන්තියට බදු පැනවීම වෙනුවට වැඩකරන පන්තියට බදු බර පටවලා

ඇමැති රාවුෆ් හකීම්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ලාබ ලබන රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම සුදුසු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) ප්‍රකාශ කළේය.

රාජ්‍ය ආයතන පෞද්ගලිකරණයට ලක්කිරීමේදී අවධානයට ලක්කළ යුතු කරුණු කෙරහි අවධානය යොමුකරමින් අවශ්‍ය කටයුතු සිදු විය යුතු බවත් ධනපති පන්තියට බදු පැනවීම වෙනුවට වැඩකරන පන්තිය වෙත වැඩි බදු බරක් පටවා ඇති බවත් රාවුෆ් හකීම් මහතා පැවසීය.

මේ හේතුවෙන් වැඩකරන පන්තිය වෙත පීඩනයක් ඇති වී තිබෙන බවද හෙතෙමෙ පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (24) සිය අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ රාවුෆ් හකීම් මහතා මෙසේද පැවසීය.

අපි මී‌ට පෙර අවස්ථා 16 කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ණය ලබාගැනීමට උත්සාහ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන හෝ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සිදු විය යුතුයි. ඒ වගේම අපගේ බදු යන්ත්‍රණය වැඩි වී තිබෙනවා. ධනපති පන්තියට බදු වැඩිකිරීම වෙනුවට වැඩකරන පන්තිය වෙනුවෙන් යම් බලපෑමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඒ පිරිසට පීඩනයක් ඇති වී තිබෙනවා. දූෂණ විරෝධී පනතක් හඳුන්වාදීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ වගේම දේපළ පවරා ගැනීම සඳහා වන විධිවිධානත් තිබිය යුතුයි.


ආර්ථිකය ගොඩගැනීමේ වගකීම ජනාධිපතිට පැවැරුවේ පොහොට්ටුවේ අය

මන්ත්‍රී සංජීව එදිරිමාන්න

ජනාධිපතිවරයාට ආර්ථිකය ගොඩගැනීමේ බරපතළ වගකීම භාර දුන්නේ පොහොට්ටුවේ කණ්ඩායම විසින් බවත් එය ඉදිරියට ගෙනයෑම සඳහා සහාය දෙන බවත් කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජාතික අර්බුදයකට විසඳුම් සොයන කොට විපක්ෂයේ වගකීම කුමාර වෙල්ගම මහතා සජිත් ප්‍රේමදාස මහතාට නිවැරැදිව කියා දුන්නා.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය හැකි බව ජාත්‍යන්තරය පිළිගත්තා

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර

 ශ්‍රි ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැඟිය හැකි බව ජාත්‍යන්තරය පිළිගෙන ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24) පැවැසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තීරණයත් සමඟ මෙරටේ ආර්ථිකය ප්‍රසාරණය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

ඇතැමුන් තමන්ගේ දේශපාලන පෞරුෂය හදා ගැනීමට බොරු කියන බවත් එහෙත් වත්මන් ආණ්ඩුව ජනතාවගේ පැත්තෙන් බලා වැඩ කරන බවත් ඒ මහතා කීවේය.


විවේචන නවතා රට ගොඩගන්න එකතු වෙන්ත

රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර

විවේචනය නොකර රට වැටී ඇති තැනින් ගොඩනැඟීමට එක්වන්නැයි තමන් විපක්ෂයෙන් ඉල්ලා සිටින බව විදේශ රැකියා රාජ්‍ය ඇමැති ජගත් පුෂ්පකුමාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක මහත්වරුන්ට යම් තනතුරක් අවශ්‍ය නම් ව්‍යවස්ථාව සංශෝධන කර හෝ ලබා දෙමු යැයි තමන් යෝජනා කරන බවද හෙතෙම කීවේය.

ඒ සඳහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ද යම් කැප කිරීමක් කළ යුතු බවත්, එසේ සියලු දෙනා එකට එක්වී කැප කිරීම් කළොත් රට යළි යථාතත්වයට ගත හැකි බවත් ඒ මහතා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවැති විවාදයේදී අදහස් දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

 


ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට මන්ත්‍රී තලතා අතුකෝරල

ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පත් කර ඇත.

ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 22 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් වන මංජුලා දිසානායක සහ මුදිතා ප්‍රිශාන්ති යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් විසින් තලතා අතුකෝරල මහත්මියගෙ සභාපතිවරිය ලෙස යෝජනා කර ස්ථිර කිරීම සිදු විය.

මෙම කාරක සභාවට කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතන කැඳවීමේ බලය හිමි බවට ද මෙහිදි අනාවරණය විය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් වන රෝහිණි කුමාරි කවිරත්න, මුදිතා ප්‍රිශාන්ති, රාජිකා වික්‍රමසිංහ, ඩී.වීරසිංහ, මංජුලා දිසානායක, ආචාර්ය හරිනි අමරසූරිය, ජගත් සමරවික්‍රම සහ මහාචාර්ය තිස්ස විතාරණ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here