Home Local News Room : හිසට හිසක් ලෙයට ලෙයක්: උෟරගහ බිය වද්දන ඝාතන වැලක්..!

News Room : හිසට හිසක් ලෙයට ලෙයක්: උෟරගහ බිය වද්දන ඝාතන වැලක්..!

0
0

අම්බලන්ගොඩ, කරන්දෙණිය, යක්කමුල්ල ඇල්පිටිය උෟරගහ ආදී ප්‍රදේශවල බොහෝ දෙනා අතමිට සරුකර ගන්නේ කුරුඳු ආශ්‍රිත ව්‍යාපාරවල යෙදෙමිනි. මේ නිසා ඒ අවට බොහෝ පිරිස් නොයෙකුත් ස්ථානවල පවත්වා ගෙන යන කුරුඳු වාඩිවල රැකියාව කරමින් තම බඩ වියත රැක ගත්හ. දරු පවුල් නඩත්තු කළහ. ඉකුත් 19 වැනිදා යක්කමුල්ල කරුවලගල මාගෙදර ප්‍රදේශයේ නිවෙසකටද ඒ අවට කිහිපදෙනකු එක්කාසු වූයේ දෛනික වැටුපට කුරුඳු තැළීම සඳහාය.

පිරිස සතුටු සාමීචියේ යෙදෙමින් කුරුඳු තළන්නට පටන් ගත්හ. දහවල් කාලය උදාවෙමින් තිබිණි. කොහේදෝ සිට පැමිණි යතුරුපැදියක් කුරුඳු වාඩිය ඉදිරිපිට නතර විය. පැදියේ තිදෙනකු සිටියහ. ඉන් එක් අයකු සිය අත තිබූ ගිනි අවියක් කුරුඳු තළමින් සිටි පුද්ගලයකු වෙත ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් තැබීය. ඒ සමඟ වාඩියේ ඇතිවූ නොසන්සුන්තාව මත පැමිණි පුද්ගලයෝ යතුරු පැදියේම නැඟී පලා ගියහ.

වෙඩි ප්‍රහාරයෙන් තිදෙනකුම තුවාල ලැබීය. ඉන් එක් අයකුට බරපතළ තුවාල සිදුව තිබූ අතර තිදෙනාම වහා රෝහල්ගත කළ අතර වෙඩි ප්‍රහාරය වැදීමෙන් සිවු හැවිරිදි කුඩා දරුවකුටද තුවාල සිදුව තිබිණි. ඔහුගේ පියාගේ පාදයටද වෙඩිල්ලක් වැදී තිබේ.

කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් පසු තුවාලලත් එක් පුද්ගලයකු ජීවිතක්‍ෂයට පත්ව තිබූ අතර ඔහු 33 හැවිරිදි වෙඩික්කාරගේ සමන් කුමාර ලෙස හඳුනා ගැනිණි.

යක්කලමුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර මැරුම් කෑ පුද්ගලයා ‘මරුවා’ යන නමින්ද බොහෝ පිරිස් හඳුන්වන බව අනාවරණය විය.

සිදුකළ විමර්ශනයේදී හෙළිවූයේ සමන් කුමාර හෙවත් මරුවා ඉලක්කකොට තුවක්කුකරුවන් එම වෙඩි තැබීම සිදුකළේ උෟරහස්මංහන්දිය පොලිස් වසමේ සිදුවූ මිනිස් ඝාතනයකට ‘රිටර්න්’ එක ලෙස බවය.

මරා දැමුණු සමන් මිනීමැරුම් චෝදාවකට බන්ධනාගාරගතව සිට මෑතකදී ඇප මත එළියට පැමිණි තැනැත්තෙක් විය. වැඩිදුරටත් කළ විමර්ශනයේදී හෙළිවූයේ වසර 7ක පමණ කාලයක සිට උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සමන් ඝාතනය කර ඇති බවය.

2019 වසරේ සැප්තැම්බර් මස හය වැනිදා ඇල්පිටිය අටකොහොම බෝගහ වංගුව මාර්ගයේ ලංගම බස් රථයක ගමන් ගත් පුද්ගලයකු බස් රිය තුළම වෙඩි තබා ඝාතනය කරන ලදී.

සිද්ධිය පිළිබඳ විමර්ශන ඇරඹූ පොලිසිය මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ 41 හැවිරිදි රංජිත් ජයවර්ධන නමැත්තකු බවට හඳුනා ගෙන තිබිණි.

පසුව පොලිසිය රංජිත් මරා දැමීම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඒ පස් දෙනා අතරට කුරුඳු වාඩිය තුළ මරා දැමුණු සමන් කුමාරද සිටියේය. පසුව මොවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නට පියවර ගන්නා ලදී.

කෙසේ වෙතත රංජිත් ජයවර්ධන බස් රිය තුළ වෙඩි තබා මරා දැමීම ගැන ඔහුගේ පාර්ශ්වය සමන් කුමාර ඇතුළු චූදිතයන් ගැන සිටියේ දැඩි වෛරයකිනි. කොයි මොහොතේ හෝ ‘ඊට රිටර්න්’ එක දීමට ඔවුන් සූදානම්ව සිටි අතර මේ බව සමන් කුමාර ඇතුළු පස් දෙනාද හොඳින් දැන ගෙන සිටියහ.

ඉකුත් අගෝස්තු 24 වැනිදා සවස් යෑමේදී උෟරගස්මංහන්දිය ප්‍රදේශයේ දෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ කොණ්ඩා කපන සැලුන් එකක් පවත්වාගෙන ගිය ස්ථානයකට ටී පනස් හය ගිනි අවියක්ද සහිතව ඇතුළුව පුද්ගලයකු එහි කොණ්ඩා කැපීමේ යෙදී සිටි ධම්මික නමැති පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන ලදී.

වෙඩි තැබීමත් සමඟ ධම්මික එම ස්ථානයෙන් පලායාම සඳහා ඉහළ මාලයේ සිට පහළ මහලේ අතුරු වහලයට පැන තිබිණි. එහෙත් එම වහලේ ඇස්බැස්ටස් ෂීට් එකද කඩාගෙන වැටුණු ධම්මික වහළ මතදී තැබූ තවත් වෙඩිල්ලකින් එතනම මරු වැලඳ ගෙන තිබිණි.

පසුව කරන ලද විමර්ශනයේදී හෙළි වූයේ ධම්මිකගේ ඝාතනයද පළිගැනීමක් බවය. ඒ 2019 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදා

අටකොහොමේදී බස්රථයක් තුළ වෙඩි තබා මැරූ රංජිත් ජයවර්ධනගේ ඝාතනයට රිටර්න් එක ලෙස ධම්මිකද මරා දමා ඇති බව විමර්ශනයේදී හෙළිවිය. ධම්මිකද සමන් කුමාර ඇතුළු අත්අඩංගුවට පත්ව රක්‍ෂිත බන්ධනාගාරගතව සිටි පස්දෙනාගෙන් එක් අයෙකි.

ධම්මිකගේ ඝාතනයෙන් පසු නිහඬව සිටි රංජිත්ගේ පාර්ශ්වයේ ඝාතකයන් ඉකුත් මස 19 වැනිදා සමන් කුමාරද කුරුඳු වාඩිය තුළදී වෙඩි තබා මරා දැමුවේ රංජිත්ගේ ඝාතනයට එකට එක කිරීමක් ලෙසිනි.

සමන් කුමාර ඝාතනයත් සමඟ උෟරගස්මංසන්දියේ දෙපාර්ශ්වයක් අතර සිදුවන මරා ගැනීමේ සිද්ධීන් ගණන 8ක් දක්වා ඉහළ ගොස් ඇත.

දෙපාර්ශ්වය අතර ඇතිවුණු රතිඤ්ඤා ආරවුලක් මුල්කරගෙන මෙම ඝාතන රැල්ල ඇරඹී ඇති බව පොලිසිය කීය. පොලිසිය පවසන අන්දමට මෙහි අගමුල මෙසේය.

ඒ 2015 වසරේ අප්‍රේල් මස 4 වැනිදාය. සිංහල අවුරුද්ද නිමා වූ සැණින් වෙසක් උත්සවයද එළැඹිණි. ඉන්දික මහේෂ් කුඩා උෟරගහ පදිංචි අයෙකි. සමන් සුරේෂ්ද ඉන්දිකගේ නිවෙසට කිලෝමීටර 5ක් පමණ අෑතින් පදිංචි යාබද ගමේ විසූවෙකි.

ඉන්දික මහේෂ් ඇතුළු මිතුරන් වෙසක් උත්සවය සැමරීම සඳහා නුගුඩුමුල්ල ප්‍රදේශයේ තොරණක් ඉදිකරමින් සිටි අතර නුගුඩුමුල්ලේ පැවැති අවුරුදු උත්සවයකට එක්වූ සමන් සුරේෂ් ඇතුළු කණ්ඩායම එහි සතුට විඳිමින් රතිඤ්ඤා දල්වමින් ඒවා මාර්ගයට විසිකරමින් අවුරුදු සමරන්නට වූහ. උෟෂාන්ද ඒ අතර විය. උෟෂාන් සුරේෂ්ගේ හොඳම මිතුරෙකි. මේ අතර සමන් සුරේෂ් විසින් දල්වා විසි කරන ලද රතිඤ්ඤා කරලක් මාර්ගයේ යතුරුපැදියක ගමන්ගත් ඉන්දික මහේෂ්ගේ දෙපා අසල වැටී පුපුරා ගියේ පුංචි ආරවුලක් ඇති කරමිනි.

ආරවුල මොහොතකට සමථයකට පත්වුවද අළුයට ගිනි පුපුරු මෙන් එය වරින් වර මතුවන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2015 නොවැම්බර් මස 3 වැනිදා උෟෂාන් සහ සුරංග යන දෙදෙනා ඉහළ මාලවල ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී තුවක්කුකරුවන් විසින් ඝාතනය කර දැමීය.

තුවක්කුකරු යතුරුපැදියේ නැඟී ගමන්ගත් උෟෂාන් ඉලක්ක කොට වෙඩි තැබූ අතර වෙඩි පහර කෑ උෟෂාන් පලායෑමට උත්සාහ කර තිබිණි. ඒත් තුවක්කුකරු දිගට හරහට සිදුකළ වෙඩි තැබීමෙන් උෟෂාන් බිම පතිත විය. ඒ අතර සුරංග යතුරුපැදියෙන් පලායෑමට උත්සුක විය. එහෙත් වෙඩික්කරු සුරංගටද වෙඩි තැබීය. ඒ ඇසින් දුටු එකම සාක්‍ෂියද නිහඬ කිරීමේ අරමුණෙන්ය.

කෙසේ වෙතත් උෟෂාන් සහ සුරංග ඝාතනය සම්බන්ධයෙන් ඉන්දික සහ අසංක අධිකරණයට භාර වූ අතර ඔවුන් එම ඝාතන ගැන පාපෝච්චාරණයක්ද කර තිබිණි.

සුරංගගේ ඝාතනයත් සමඟ ඔහුගේ සොහොයුරා වූ සමන් සුරේෂ් දැඩි කෝපයට පත්විය. ඒ වන විට සුරංග සහ උෟෂාන්ගේ ඝාතනයට ඉන්දික සහ අසංක යන දෙදෙනා රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි අතර සමන්ට ඔවුන් කෙරෙහි ඇතිවූයේ දැඩි කෝපයකි. මෙහිදී තම සොහොයුරා සහ ඔහුගේ මිතුරා ඝාතනය කරන්නට ගිනි අවිය දී ඇත්තේ ඉන්දිකගේ බොසා වන “බොස් සරත්” නමැත්තා බවද සමන් දැන ගත්තේය. ඉන්දික බොස් සරත්ගේ රියැදුරු ලෙස සේවය කරන්නෙකි.

ගතවූයේ මාසයක කාලයකි. 2015 දෙසැම්බර් මස 4 වැනිදා බොස් සරත් උෟරගහ ගල්මංගොඩවත්ත මාර්ගය අසලදී ඝාතනය වන්නේ සුරේෂ් සහ උෟෂාන්ගේ ඝාතනයට කළ පළිගැනීමක් ලෙසිනි. බොස් සරත් ඝාතනය කිරීමෙන් නොනැවතුණු සුරංගගේ සොහොයුරු සමන් සරත්ගේ මළකඳ ඔහු ඝාතනය වූ ස්ථානයේ තිබියදී හිස කොටස සිය සොහොයුරා සුරංග ඝාතනය වූ රන්තොටුවිල සමුපකාරය අසල මාර්ගයට ගෙනැවිත් දැමීමට තරම් සහාසික වූයේ තිබූ දැඩි වෛරය නිසාය.

ප්‍රදේශයේ ප්‍රකට චරිතයක් වූ බොස් සරත් මරා හිස කඳින් වෙන්කිරීමත් සමඟ ප්‍රදේශයම භීතියෙන් ඇලළී ගියේය.

බොස් සරත් ඝාතනයෙන් දින තුනකට පසු සමන් සුරේෂ් සහ චමිල යන දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්වන අතර ඉන් අනතුරුව ඔවුන් බන්ධනාගාර ගත කෙරිණි.

කලක් බන්ධනාගාරගතව සිට ඇප මත පැමිණි සමන් සුරේෂ්ට සහ චමිලට වැඩි කලක් ජීවත් වන්නට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය ඉඩක් ලබාදී නොතිබිණ.

ඒ 2018 සැප්තැම්බර් 30 වැනිදාය. උෟරගහ ඉහළ මාලවල, රත්තොටුවිල චමිලගේ නිවෙස ඉදිරිපිට කුරුඳු වාඩියක මධුවිත පානය කරමින් සිටි සුරේෂ් සමන් අසලට කඩාවැදුණු සිවුදෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සුරේෂ් සහ චමිල ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. ඉන් සුරේෂ්ටත් චමිලටත් බේරී යෑමට නොහැකි විය. දෙදෙනාම ඝාතනය කළ තුවක්කුකරුවෝ එතැනින් පලාගියේ සමන්ගේ හිස කොටස කඳින් වෙන්කරගෙනය.

ඝාතකයෝ සමන්ගේ හිස කොටස ඊට මීටර් 300ක් පමණ අෑතින් පිහිටි රන්තොටුවිල සමුපකාරය අසලට රැගෙන ගොස් එතැන දමා ගොස් තිබිණි. ඊට හේතුව වූයේ සමන්ද බොස් සරත්ගේ හිස කොටස එම ස්ථානයේ දමා ගොස් තිබූ නිසා බව විමර්ශනවලදී හෙළිවිය.

කාලය මෙසේ ගෙවී ගියේය. ඒ 2019 වසරේ සැප්තැම්බර් මස 6 වැනිදාය. වසරක පමණ කාලයක් දෙපාර්ශ්වය අතර තිබූ නිහඬතාව, බිඳ හෙළමින් කුඩා උෟරගහ පදිංචි රංජිත් ජයවර්ධන නමැත්තා බස් රථයක් තුළදී වෙඩි තබා මරා දැමිණි.

උෟරගහ මංසන්ධියෙන් අලුත්ගම හරහා ඇල්පිටිය දක්වා ධාවනය වූ එර්ථී ව්ඒ-1275 අංක දරන බස් රථයට බිරිය, මව සහ නැඟණිය සමඟ ගොඩවූ රංජිත් ඇල්පිටිය බලා ගමන් කරමින් සිටියේ ඉඩම් ආරවුලක් සම්බන්ධ නඩුවකට මුහුණදීම සඳහාය.

අතරමඟදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු බස් රියට ගොඩවූ අතර යතුරුපැදිය බස් රියට පිටුපසින් ධාවනය විය.

බසය අටකෙහොට බෝගහ වංගුව පසු කරද්දීම පසුපස ‍ෙදාර අසල අසුනේ සිටි රංජිත් ඉලක්ක කරගනිමින් බසයට නැඟුණු පුද්ගලයා විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය.

එසැණින් බසය නතර විය. තුවක්කුකරු බසයෙන් බැස පිටුපසින් පැමිණි යතුරුපැදියට ගොඩවී පලාගියේය.

විමර්ශන පැවැත්වූ උෟරගස්මංහන්දිය පොලිසිය අනාවරණය කරගත්තේ රංජිත් ඝාතනය කර ඇත්තේ සමන් සුරේෂ් සහ චමිල ඝාතනයට පළිගැනීමක් ලෙස බවය.

චමිල සහ සමන් සුරේෂ් ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ඒ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබූ බැවින් එම ද්විත්ව ඝාතනයේ පළමු සැකකරුගේ නැඟණියගේ සැමියා වූ රංජිත් එලෙස ඝාතනය වූයේ එකට එක කිරීමක් ලෙසය.

රංජිත් ජයවර්ධන ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය සැකකරුවන් පස්දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ පස්දෙනා අතර ඉකුත් අගෝස්තු  මස 24 වැනිදා උෟරගහ සැලුන් එකකදී ඝාතනය වූ ධම්මික විමලවීර මෙන්ම පසුගිය 19 වැනිදා යක්කලමුල්ල, කුරුඳු වාඩියේදී ඝාතනය වූ සමන් කුමාර හෙවත් මරුවාද විය. ඔවුන් දෙදෙනා ඝාතනය වූයේ ඇප මත එළියට පැමිණ සිටියදීය. මේ අනුව රංජිත් ජයවර්ධන ඝාතනයට සම්බන්ධ බවට සැක කරන පස්දෙනාගෙන් දෙදෙනකු මේ වන විට පරලොව ගොසිනි.

මේ අනුව පෙනී යන්නේ රතිඤ්ඤා ආරවුලක් මත 2015 ඇරැඹි මෙම ඝාතන රැල්ල තවමත් නතරව නැති බවය.

2019 රංජිත් ජයවර්ධන ඝාතනයෙන් පසු වසර තුනක් පැවැති නිහඬතාව බිඳ දමමින් ධම්මික සහ සමන් කුමාර ඝාතනය සිදුවූ අතර එයින් හැඟීයන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර ඇති වී තිබෙන ඝාතන රැල්ල මෙන් උෟරගහ ඝාතන ද නොනවතින රැල්ලක් බවය. මේ වන විට පුද්ගලයන් 8 දෙනකුට මේ නිසා ජීවිත අහිමිව ඇති අතර රතිඤ්ඥා කරලක් නිසා ඇවිළුණු ඝාතන රැල්ල අළුයට ගිනි පුපුරු මෙන් පවතින බව අනුමාන කළ හැකිය.

කීර්ති මෙන්ඩිස්

පින්තූර: ගයාන් ගුණසේකර – ඇල්පිටිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here