ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් මෙරට පුරවැසියන්ට සහය වීම සඳහා හඳුන්වා දී ඇති Community Kitchen හෙවත් ‘ප්‍රජා මුළුතැන්ගෙය’ සංකල්පය සමග ජනාධිපති මාධ්‍ය අංශය ද එක් වී තිබේ.
රාජගිරිය ප්‍රජා සේවා මධ්‍යස්ථානයක පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන සමග ඊයේ (ඔක්. 28) එක් වූ ජනාධිපති මාධ්‍ය අංශයේ කාර්ය මණ්ඩලය, තමන් පිසූ දිවා ආහාර බෙදාදෙනු ලැබූ අතර 400කට අධික පිරිසක් ප්‍රජා මුළුතැන්ගෙයින් දිවා ආහාරය ලබා ගෙන ඇත.
ජනාධිපති මාධ්‍ය අංශයේ ශුභසාධක සංගමය මගින් මේ සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීම සිදු කෙරුණු අතර රාජ්‍ය සහ පෞද්ගලික ආයතනික මට්ටමින් ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය ව්‍යාප්ත කිරීම එහි අරමුණ වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් අනුව ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පසුගිය දා හඳුන්වා දීමත් සමග ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පය පිළිබඳ සමාජයේ පුළුල් කතා බහක් ඇති විය.
ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා සූදානම් වීම මෙන් ම සමූහයක් වශයෙන් පෝෂ්‍යදායී ආහාර වේලක් සකසා ගැනීම හා ආහාර සපයා ගැනීමේ අසීරුතාවෙන් පෙළෙන අයට සහායක් වීම ප්‍රජා මුළුතැන්ගෙය සංකල්පයේ අරමුණයි.
ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුධීර නිලංග විතාන, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ පියසේන දිසානයක, ඡායාරූප අධ්යක්ෂ මීෂා ගුණවර්ධන, ජනාධිපති මාධ්‍ය අංශයේ සුබසාධක සහ ක්‍රීඩා සංගමයේ සභාපතිනි නියෝජ්‍ය අධ්යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි යන මහත්ම මහත්මීන් ඇතුළු අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.