වස්සාන සමය එළැඹීමත් සමඟ මේ දිනවල දිවයිනේ සෑම ප්‍රදේශයකම වගේ කඨින පින්කම් පවත්වනු ලබයි. මෙහිදී වීදි සංචාරය කරන කඨින චීවර පෙරහර කොයි කා අතරත් පහන් හැඟුම් ජනිත කරවන විචිත්‍රවත් අවස්ථාවකි. එහෙත් එවැනි පින්බර අවස්ථාවක වුවද අපගේ නොසැලකිලිමත් බව නිසා සිදුවිය හැකි විපත නම් සුළුපටු නොවේ. එවන් වූ අවාසනාවන්ත පුවතක් ඉකුත් දිනකදී අපට වාර්තා වූයේ කළුතර ෙදාඩන්ගොඩ ප්රදේශයෙන්ය.
පසුගිය 23 වැනිදා අලුයම ෙදාඩන්ගොඩ වඩුගොඩ පිහිටි විහාරස්ථානයක කඨින මහා පෙරහර වීදි සංචාරය ආරම්භ කර තිබුණේ ප්‍රදේශයේ සැදැහැවතුන් රාශියකගේ සහභාගිත්වයෙනි. වෛර්ණ නර්තන, හේවිසි ශබ්ද පූජාවන්ගෙන් මෙන්ම ආලෝක පූජාවන්ගෙන්ද මෙම අවස්ථාව උත්කර්ෂවත් වී තිබිණි. 17 හැවිරිදි ඩිහාන් කවිඳු වික්‍රමරත්නද මේ සැදැහැවත් පිරිස මැද ගිනිබෝල කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ගමන් කරමින් සිටියේ, තවත් මොහොතකින් එළැඹීමට නියමිත මාරක හෝරාව පිළිබඳව හාන්කවිසියක් හෝ නොදැනය.
තම සගයන් හා එක්ව පෙරහරේ පෙරමුණේ ගමන් ගත් ඩිහාන්ද ගිනි වළල්ල කරකැව්වේ අලුයම් අන්ධකාරය ඉරා දමමින් පෙරහර මඟට ආලෝකය දල්වනු රිසියෙනි. මෙලෙස ගිහාන් ගිනි වළල්ලෙන් සිය දස්කම් දක්වන අතරතුර එක්වරම ඔහුගේ යකඩ ගිනි වළල්ල ඒ අසල බල්බ් වැලක් දැවටූ උණ පඳුරු සැරසිල්ලක ගැටී තිබේ. ඒ සමඟම එතෙක් පෙරහර මඟ ප්රභාකැන් විහිදූ යකඩ ගිනි වළල්ල වෙත මාරයාගේ ස්පර්ශය වැටී ඇත. අසල තිබූ දේවාලයක සිට එම බට පඳුර වෙත තාවකාලිකව ඇද තිබූ විදුලි රැහැනේ කාන්දුවක් හේතුවෙන් ඩිහාන් අත දරා සිටි යකඩ පට්ටමට විද්‍යුතය ගලා ගොස් ඔහු විදුලි සැරට බිලි විය. විදුලි සැර වැදීමත් සමඟ ක්ෂණයකින් ඩිහාන් බිම පතිත වූයේ කිසිවෙක් අපේක්ෂා නොකළ මහා ඛේදවාචකයක් දල්වමිනි.
ඔහු හදිසියේම බිම ඇද වැටීමත් සමඟ ඩිහාන් වටා සිටි මිතුරන් දෙදෙනකු ඔහුව ඉන් මුදා ගැනීමට තැත් දරා තිබේ. එහිදී එම දරුවන් දෙදෙනාටද විදුලි සැර වැදී ඇති අතර වහාම ක්‍රියාත්මක වූ ඩිහාන්ගේ මිතුරකු එම අනාරක්ෂිත බල්බ් වැලෙහි විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කර ඇත. ඉන් අනතුරුව වහාම ඩිහාන්ව රෝහල් ගත කිරීමට යුහුසුලු වූ ඩිහාන්ගේ මිතුරන් විසින් එහි සිටි අනෙක් පිරිසගේද උදවු ඇතිව අසල තිබූ ලොරි රථයකට නංවාගත් තරුණයන් පිරිස ඔහුව රෝහල් ගත කිරීමට කඩිනමින් පියවර ගෙන තිබේ. ඒ අතරතුර ෙදාඩන්ගොඩ පොලිස් ස්ථානයේ ගාල් කොට තිබූ සුවසැරිය ගිලන් රථය අමතා ඔවුන් වෙත මේ පිළිබඳව දැනුම් දීමට පියවර ගෙන ඇති බව පැවැසේ. කෙටි දුරක් ගමන් කිරීමෙන් පසු අවාසනාවන්ත ලෙස ඔවුන් ගමන් ගත් ලොරි රථයද යම් දෝෂයක් නිසා අඩපණ වී ඇති අතර ඉන්පසුව ඔවුන් විදුලි සැරට ගොදුරු වුණු තම මිතුරාව ත්‍රිරෝද රථයකට නංවා රෝහල වෙත පිටත් කොට ඇත. මතුගම ප්‍රධාන මාර්ගයට යාබදින් ඩිහාන්ව සුවසැරිය ගිලන් රථයට නංවාගත් බව සඳහන් වන අතර පසුව ඔහුව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත ගෙන ගොස් තිබේ. ගිලන් රථ සේවකයන් කඩිනම් ප්‍රථමාධාර ලබාදී ඩිහාන්ව රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කළද රෝහල් ගත කරන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව සඳහන් වේ.
ෙදාඩන්ගොඩ හර්මන්වත්තේ පදිංචිව සිටි ඩිහාන් ෙදාඩන්ගොඩ මිරිස්වත්ත ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. මව, පියා සහ වැඩිමහල් සහෝදරයකු සිටින ඩිහාන්ගේ පවුලේ සාමාජිකයන් සිවු දෙනෙකි. ඩිහාන් ඔහුගේ මිතුරන් කිහිප දෙනකු සමඟ වසර දෙකක පමණ කාලයක සිට ප්‍රදේශය අවට විහාරස්ථානයන්හි කඨින පෙරහර සඳහා ගිනිබෝල කණ්ඩායම ලෙස සහභාගි වන බව අපට අනාවරණය විය. ඔවුන් එලෙස දායකත්වය ලබාදී ඇත්තේ කිසිදු මුදල් අපේක්ෂාවකින් තොරව සිය කැමැත්තෙනි. මෙම අනතුර සිදුවන අවස්ථාවේ ඩිහාන්ගේ පියා සහ සහෝදරයා නිවෙසේ සිටි අතර ඔහුගේ මව සිටියේ කතරගම ප්‍රදේශයේ වෙනත් කඨින පින්කමකට සහභාගි වෙමින්ය. තම පුතණුවන්ගේ හදිසි වියෝවෙන් කම්පා වී සිටින ඇය හැඬූ කඳුළින් “මව්බිම”ට මෙසේ පැවැසුවාය.
“මගේ චූටි පුතා අද ඊයේ නොවෙයි, දැන් අවුරුදු දෙක තුනක් තිස්සේ තමයි මේ කටයුතුවලට සහභාගි වෙන්නෙ. පුතාට ගොඩක් යාළුවෝ ඉන්නවා. එයාලා එක්ක තමයි කණ්ඩායමක් හදාගෙන මේ වැඩවලට යන්නෙ. අවුරුද්දෙන් අවුරුද්දට අලුත් විදිහට එයාලා මේක හරි ආසාවෙන් කරන නිසාත්, ආලෝක පූජාව බුදු දහමට අදාළ හොඳ දෙයක්නෙ. ඒ නිසා මාත් එපා කිව්වේ නෑ. පුතා හරි දක්ෂයි. ගිය පාර පන්සල් තුන හතරකම පෙරහරට සහභාගි වුණා. මේ දෙවැනි කඨිනය. මගෙ දරුවා මේවට යන්නෙ මුදලට නෙමෙයි හරිම ආසාවෙන්.
එදා පුතා ළඟ තිබිලා තියෙන්නේ වේවැල්වලින් හදපු ගිනි වළල්ලක්. ඒත් ඒක නිවිලා. ඊළඟට එයාගෙ ටර්න් එක නිසා එයා ඒක යකඩ පට්ටමකට මාරුකරගෙන තියෙනවා. ඒක තමයි අර පාර අයිනේ මල් පඳුරේ වදින්නේ.
පුතාව ගෙනියන්න වාහනයක් හොයාගන්නත් බැරි වෙලා. එයාගෙ යාළුවො පුතාගෙ පපුව තෙරපමින් උස්සගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ වාහනයක් හමු වුණත් ඒක මඟදි කැඩිලා. ‘ඇම්බියුලන්ස්’ එකට කෝල් කළත් ඉන්න තැන කියන්නවත් දරුවෝ ටික දැනගෙන ඉඳලා නෑ. ඉස්පිරිතාලෙට අරගෙන යන්නත් ගොඩක් පරක්කු වෙලා තියෙනවා. එතකොටත් මගේ දරුවා ජීවිතේ දාලා ගිහින්. මගේ පුතා මට නැති වුණා. මං හිතන්නේ එයාලා අනාරක්ෂිත විදිහට තමයි මේ විදුලි රැහැන් අරන් තියෙන්නේ. මං ඉල්ලන්නේ මගේ පුතාට වෙච්ච දේ තව කෙනෙක්ට වෙන්න ඉඩ තියන්න එපා. අනාරක්ෂිත විදිහට එහෙම විදුලි රැහැන්, බල්බ් දල්වන්න එපා. මං විඳින ගින්දර තව අම්මෙකුට වෙන්න එපා කියලයි.”
ඩිහාන්ගේ නිසල දේහයට සමුදීමට ඔහුගේ පාසලේ සිසුන් මෙන්ම විශාල පිරිසක් සහභාගි වී සිටියේය.
“මල්ලී සා/පෙළ කරලා ප්‍රතිඵල එනකන් ගෙදර හිටියේ. කොරියන් විභාගය ලියල කොරියාවේ යන්න, ‘හයිකැපෑසිටි මෝටර් බයිසිකල් එකක් ගන්න එහෙම එයා ගොඩක් බලාපොරොත්තුවෙන් හිටියා.”
එලෙස අප සමඟ පැවැසුවේ ඩිහාන්ගේ වැඩිමහල් සහෝදරයා දිනිඳු ශමීරයි. තවදුරටත් අප සමඟ තම එකම සොහොයුරා පිළිබඳ ඔහු මතකය බෙදා ගත්තේ ඉතා සංවේගයෙනි.
“මල්ලී එයාගේ සම වයස්වලම ඉන්න යාළුවෝ කිහිපදෙනෙක් එක්ක හදාගත්ත කණ්ඩායමක් විදිහට තමයි ගිනිබෝල කරකවන වගේ වැඩවලට සම්බන්ධ වෙන්නෙ. එයා පොඩි කාලෙ ඉඳන්ම හරි ආසයි ඒවට. මල්ලි ටිකක් දඟකාරයි. යාළුවො එක්ක පිට්ටනියේ සෙල්ලම් කරනවා. ඒත් එයාලා කිසිම ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි මේ කිසි දෙයක් කළේ. කඨින පින්කම් කාලෙට මෙයාලා හොය හොය යන්නේ ඒ වැඩවලට. අපි කරලා දෙන්නම් මේ වැඩේ කියලා බාරගන්නවා. මල්ලිම තමයි ගොඩක්ම දුරට ඒව හොයන්නෙත්. මේ පාරත් කට්ටියත් එක්කම එක වගේ ඇඳුම් හදාගෙන සහභාගි වුණේ.
එදා මේ සිදුවීම වෙද්දි අපේ මල්ලී ලාම්පුතෙල් එහෙම දාගෙන සූදානම් වෙලා සිටියේ ඊළඟට ගිනිබෝල කරකවලා දස්කම් දක්වන්න. එතැන ඒ මොහොතේ දස්කම් දක්වන කෙනා ඉඩ දීලයි එයා අර බට පඳුර ගාව අයිනට වෙලා ඉඳලා තියෙන්නේ. එතැනදී තමයි මල්ලිගේ යකඩ පට්ටම මේ බල්බ් වැලේ ගැටිලා තියෙන්නේ. ඒක අනිසි විදිහට ඇදපු වයර් එකක්. මොකද ගෙදරකින් ගත්තා නම් විදුලිය මෙහෙම දේකදී ටිප් එකෙන්ම විසන්ධි වෙනවනේ.
ඒ වෙලාවෙ එතැන පෙරහර සංවිධානය කළ කවුරුවත් ඉඳලා නෑ. ටික වෙලාවක් යනකන්ම කවුරුත් මල්ලිට ළං වෙලාවත් නෑ. මල්ලි එකකම ගිය යාළුවෝ තමයි ඒ වයර් එකේ මුල හොයාගෙන ගලවලා විසන්ධි කරලා තියෙන්නේ.”
ඩිහාන් මේ අනතුරට මුහුණ දුන් අවස්ථාවේ එහි සිටි ඔහුගේ සමීප මිතුරකු වූ සෙනෙත්ද “මව්බිම”ට තම දුක්බර අත්දැකීම මෙලෙස විස්තර කළේය.
“අපි හතර දෙනෙක් ගිනිබෝල කරකවමින් සිටියා. එතකොට මම දැක්කා ඩිහාන්ව වැටෙනවා. මමත් ගිහින් එයාව අල්ලද්දී මටත් කරන්ට් එක වැදුණා. මං ඒත් ආයේ උත්සාහ කළා. ඊළඟට මං ඒ වයර් එකේ මුල හොයලා ඒක ගලවලා දැම්මා. මට ඒ වෙලාවෙත් කරන්ට් එක වැදුණා. ඒ බල්බ් වැලට විදුලිය ගෙන තිබුණෙ එතැන තිබුණු පත්තිනි දේවාලයෙන්. ස්විච් පරණ නිසාද කොහෙද ටිප් එක විසන්ධි වෙලා තිබුණේ නෑ. ඊළඟට මං ඩිහාන් ළඟට ගිහින් එයාගේ පපුවට අත තියලා බැලුවා. ඒ වෙලාවේ හදවත වැඩ කළේ නෑ. මං කෑගහලා ඔක්කොටම කිව්වා වාහනයක් හොයලා දෙන්න කියලා. ලොරියට දාගෙනත් මං එයාගේ
පපුව මසාජ් කළා දිගටම ටිකකින් හුස්ම වැටෙන්න ගත්තා යාන්තමින්. ඒත් එතකොටම වගේ ලොරිය කැඩුණා. ඊළඟට තමයි ත්‍රීවීලර් එකකට ඩිහාන්ව දැම්මේ. ත්රීවිලර් එකට අපිට නඟින්න බැරි වුණා. ඒකෙ ඉඩ නැති නිසා. අපි ළඟ ෆෝන් එකක්වත් තිබ්බේ නෑ ඒ වෙලාවෙ. මොකද අපි වැස්සටත් මූණ දෙන්න බලන් තමයි පෙරහරට සහභාගි වෙන්න ගියේ. මඟක් දුරකදී සුවසැරියට ඩිහාන්ව බාරදුන් බව දැනගන්න ලැබුණා.”
මේ සිදුවීම පිළිබඳ පසුවිපරමක් සිදු කිරීමේදී එය හුදෙක් ඉරණම හෝ කර්මය නිසා සිදු වූවක් ලෙස බැහැර කළ නොහැක්කේ, නොසැලකිලිමත්කම සහ වගකීම් විරහිත බව මේ ඛේදවාචකය කෙරෙහි හේතු වී ඇති බව පසුවිපරමේදී පසක් වන නිසාය. බැතිමත් සිතින් යමකු පුණ්‍ය කටයුත්තක් වෙත දායකත්වය සැපයීම යහපත් දෙයකි. එහෙත් ඒ සෑමවිටම සුපරික්ෂාකාරී බවක් සහ ඒ පිළිබඳව වගකීමක් අප සතු විය යුතුය. පෙරහර මඟ ආලෝකය දල්වන්නට තැනූ විදුලි රැහැන් තවෙකුගේ ජීවිතයම අඳුරු කර දමන්නේ එවැනි සැලකිලිමත් බවක් නොමැති නිසාය.
පසුගියදා සියල්ලන් හඬවමින් ඩිහාන් මෙලොවින් සදහටම සමුගෙන ගියේ අපරික්ෂාකාරී බව නිසා සිදුවිය හැකි බරපතළ ඛේදවාචකයක් පිළිබඳව අමතක නොවන පාඩමක් කියාදෙමින්ය. ඔබේ නොසැලකිලිමත් බව නිසා තවත් සැලකිය යුතු ජීවිත කතාවක් සදහටම මැකී යා හැකිය. එබැවින් හුදෙක් කියවා බලා සෝ සුසුම් හෙළන්නට නොව, යළිත් කිසිදා සිදුනොවන්නට අප කවුරුත් මින්පසු මේ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතුය.