Home Local News Room : හිඟාකකා බදු බර පටවමින් රට පාලනය කරන්න ඕනෑම අයකුට...

News Room : හිඟාකකා බදු බර පටවමින් රට පාලනය කරන්න ඕනෑම අයකුට පුළුවන්

9
0

රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව පවසමින් රජය දිගින් දිගටම ජනතාව මත බදු බර පැටවීම කිසිසේත්ම පිළිගත නොහැකි බව රාමඤ්ඤ මහ නිකායේ කාරක සංඝ සභික ගලහා සිරි සාන්ත හිමියෝ පවසති.                                                                                                     

මහනුවර 27දා පැවැති ආගමික උත්සවයකදී අදහස් පළ කළ උන්වහන්සේ කියා සිටියේ මේ රටේ ආර්ථිකය විනාශ කළ, අප රට ලෝකයේ අඩු ආදායම්ලාභී රටක් බවට පත්කළ ආර්ථික ඝාතකයන් මේ වනවිටද කිසිදු හෝ ගැටලුවකින් තොරව තම මන්දිරවලට වී සුපිරි ජීවිත ගත කරන බවය.                                                                                                            

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ උන්වහන්සේ මෙසේ ද කීහ.

“අද මේ රටේ ජනතාව බඩ පොත්ත පිටට ඇලිලා දහ දුක් විඳිනවා. වේලක් කෑවොත් වේලක් කන්න නෑ. පාසල් දරුවෝ කලන්තේ දාලා වැටෙනවා. දවල් කෑමට අරන් යන්නේ කුරුම්බා කෑල්ලක්. අපිත් ගුරුවරු වශයෙන් මේ තත්ත්වය හොඳටම අත්විඳිමින් ඉන්නවා. නමුත් මේ රටේ ඇතැම් දේශපාලකයන්, වෛද්‍යවරුන් පවා මේ දරුවන් හාස්‍යයට ලක්කරමින් කුරුම්බා හොඳ කෑමක් කියනවා.                                                                        

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියන අන්වර්ථ නාමයෙන් තිබුණු අපේ රට නිදහසින් පසු තට්ටුමාරු ක්‍රමයට පාලනය කළ දේශපාලකයෝ සියලු දෙනා අඩු වැඩි වශයෙන් මේ තත්ත්වයට වගකිව යුතුයි. අරයට මෙයාට චෝදනා කරලා කාටවත් බේරෙන්න බෑ.                                                                                                                     

අද මේ රටේ කම්කරු ජනතාව බහුතරයකට රක්ෂාව නැතිවෙලා. ඒ අයට වෙලා තියෙන්නෙ හිඟා කන්න නැත්නම් හොරකම් කරන්න. මේ පොඩි මිනිහෙක් බඩගින්නට ගහකින් කොස් ගෙඩියක් කඩා ගත්තොත් අල්ලලා හිරේ දානවා. නමුත් බිලියන ගණනින් රටේ ජාතික ධනය මංකොල්ලකෑ දූෂිතයන් තවමත් ඉතාමත් යහතින් වැජඹෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් යැයි කියමින් ජනතාවට බදු පිට බදු ගහන රජය ඉදිරියේදී තවත් බදු ගහනවා කියලා ලැජ්ජා නැතුව කියනවා.මේ ආකාරයෙන් ණයට හිඟා කකා රට පාලනය කරන්න දේශපාලනඥයෝ අවශ්‍ය නෑ. ඕනෑම මෝඩයකුට මෙහෙම රටක් පාලනය කරන්න පුළුවන්. මැතිවරණයක් ආ දවසට මේ අයට තේරුම් ගන්න පුළුවන් රටේ ජනතාව විඳින පීඩනයේ තරම” යැයිද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

මහනුවර – කේ.එල්. සුරවීර

පෙර ලිපියකොරෝනා මධ්‍යස්ථානවලට රතු නිවේදන ඇවිත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here