මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී තරග දෙකකට සහභාගි වී 50%ක ප්‍රතිශතයකින් ජයගෙන ඇති ශ්‍රී ලංකා පිලට හෙට (29දා) නවසීලන්තය සමඟින් සිඩ්නි පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වෙන තරගය තීරණාත්මක වී තිබේ.
සිඩ්නි ක්‍රීඩාංගණය ආශි‍්‍රතව අධික ශීතල තත්ත්වයක් (21-22°C) නොමැති බව වාර්තා වන අතර, එය ශ්‍රී ලංකා පිලට යහපත් තත්ත්වයක් වී ඇති නමුත් මේ වනවිට ශ්‍රී ලංකා පිලට බලවත් හිසරදයක් බවට පත්ව ඇත්තේ වේගපන්දු යවන්නන්ගේ ආබාධ ගණන ඉහළ යෑමය.
මේ වනවිට ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සිවු දෙනකුම ආබාධ හේතුවෙන් විවේක සුවයෙන් පසුවන අතර, තවත් වේගපන්දු යවන්නකු හෝ දෙදෙනකු ආබාධයට පත්වුවහොත් ජාත්‍යන්තර අත්දැකීම් නොමැති වේගපන්දු යවන්නන්ගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇත.
ශ්‍රී ලංකා පිලෙහි ප්රබලතම අවිය බවට පත්ව තිබෙන්නේ දඟ පන්දු බලඇණිය වුවත් පසුගිය ඕස්ට්‍රේලියා තරගයේදී වනිඳු හසරංගට එල්ල වූ ප්‍රහාරය සැහැල්ලුවට ගත නොහැකිය. ලොව අංක එකෙහි දඟපන්දු යවන්නකුට එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ඕස්ට්‍රේලියානුවන් පෙර සිටම පිඹුරුපත් සකසා ඇති අයුරින්ම නවසීලන්තයත් අරඅඳින්නේ නම් තත්ත්වය දරුණුය.
ශ්‍රී ලංකාවේ ප්රබලතම අවිය නිහඬ කිරීමට ප්රබලතම කණ්ඩායම් උත්සාහ දරනු ඇති බව දැන් පැහැදිලිය. එහෙයින් හසරංගට තම පරිණතභාවය උපරිමයෙන්ම භාවිතයට ගැනීමට සිදුවනු ඇත.
එසේ නොවුණහොත් පන්දු යවන්නන්ගේ පසුබැසීම පිතිකරුවන්ටත් බලපානු ඇති බව කිව යුතු නොවේ.
කෙසේ වෙතත් හෙට පැවැත්වෙන සිඩ්නි ක්‍රිකට් පිටිය ශ්‍රී ලංකාවට හිතකර ක්‍රීඩා පිටියක් ලෙස පිළිගැනෙන අතර, එම පිටියේදී ශ්‍රී ලංකා පිල ඕස්ට්‍රේලියානුවන් සමඟ තරග දෙකකට සහභාගි වී ඇත. එම තරග දෙකම මෙම වසරේ පෙබරවාරි මස පැවති අතර, එක් තරගයක් ලකුණු සමවීත්, අනෙක් තරගයෙන් ඕස්ට්‍රේලියානුවන් ලකුණු 20කින් ජයගෙන තිබීමද විශේෂත්වයකි.
මේ අතර හෙට පැවැත්වෙන තරගයේදී එක් වෙනස්කමක් සිදුවී බිනුර ප්‍රනාන්දු වෙනුවට කසුන් රාජිතට අවස්ථාව හිමිවීමට ඉඩ ඇති බව පැවැසේ.
ඕස්ට්‍රේලියානුවන් පරාජය කරමින් මේ වනවිට ජයග්‍රාහී රිද්මයකින් පසුවන නවසීලන්තය මට්ටු කිරීමට ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් පෙරමුණ ගත යුතුමය. නවසීලන්ත ආරම්භක පිතිකරු යුගලය වන ෆින් ඇලන්-ඩෙවෝන් කෝන්වේ මෙන්ම කේන් විලියම්සන් පාලනය කිරීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට ලෙහෙසියෙන්ම ඔවුන්ගේ රිද්මය සොයා යෑමට හැකිවෙයි.
ඕස්ට්‍රේලියානුවන්ගෙන් ලැබූ පාඩම් නැවත නොවන අයුරින් සිදුවීමට වගබලාගතහොත් නවසීලන්තය මෙන්ම එංගලන්තයත් පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව පවතී.
මේ අතර ආබාධයට ගොදුරු වූ වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු ශ්‍රී ලංකා සංචිතය වෙත කැඳවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ඊයේ (27දා) හිමිව තිබිණි.