යාල වනෝද්‍යානය තුළට පෞද්ගලික වාහන ඇතුළත් කරන්නේ නම් ඒ සෑම වාහනයකට. මාර්ගෝපදේශකයෙක් සිටිය යුතු යැයි තාවකාලික නීතියක් පැනවූ බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර පැවැසීය.
දෙපාර්තමේන්තුව තුළ උග්‍ර නිලධාරි හිඟයක්ද පවතින නිසා මේ තීරණයත් සමඟ ජාතික වනෝද්‍යානවලට ඇතුළු වෙන පිරිසට යම් අපහසුතාවක් සිදුවිය හැකි බවද ඇමැතිවරයා පැවැසීය. එහෙත් වනෝද්‍යාන තුළ අශෝභන අයුරින් හැසිරීම කිසිසේත්ම අනුමත නොකරන නිසා මේ තීරණය ගත් බවද හෙතෙම කීය.
යාල වනෝද්‍යානයේ ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් තම එකම පුත්‍රයාට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි ඇමැතිවරයා අවධාරණය කළේය. තමාගේ පුතා යාල ගිය බවට කුමන හෝ සාක්ෂියක් ඇත්නම් දේශපාලනයෙන් ඉවත් වීමට සූදානම් යැයිද ඇමැතිවරයා පැවැසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (27දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
එම සිදුවීම සිදු වූ ඉකුත් සෙනසුරාදා දිනයේ තමා විදේශ ගතව සිටි බවද එම සිදුවීම ආරංචි වූයේ ඉරිදා උදෑසන බවද ඔහු පැවැසීය.
විදේශ ගතව සිටියද වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා හා අමාත්‍යාංශ ලේකම්වරිය අමතා සිදුවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් දුන් බවත් ඇමැතිවරයා පැවැසීය.
ඉන් පසුව තම පුත්‍රයා අමතා මේ පිළිබඳව විමසූ බවත් ඔහු එවැනි ගමනක් නොගොස් අධ්‍යයන කටයුතුවල නිරත වී ඇතැයි පවුලේ අයගෙන් දැන ගත් බවත් හෙතෙම කීය.
යාලට තබා තම පුත්‍රයා එදින ගාල්ලටවත් නොගිය බව තමන්ට සහතික විය හැකි යැයිද ඔහු අවධාරණය කළේය.
මේ අනවසර සිදුවීමට සම්බන්ධ ජීප් රථ තිස් දෙක අධිවේගී මාර්ගයේත් නීති කඩ කරමින් ගමන්කර තිබෙන බවට තොරතුරු වාර්තා වන්නේ යැයිද ඇමැතිවරයා කීය.
එමෙන්ම මේ ජීප් රථ අතරින් කිහිපයක් ඉකුත් දිනවල ඉන්ධන අර්බුද දරුණුවටම බලපෑ කාලයේදී පුත්තලම දෙසට මහාමාර්ගයේ අධික වේගයෙන් රේස් ධාවනය කළ වාහන බව නිල නොලත් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වූ බවද ඔහු පැවැසීය.
එදින ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදුකරන බවත් එයට සම්බන්ධ පිරිස්වලට කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා තවදුරටත් සඳහන් කළේය.
සවනි ශේශාධි