වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අනුබද්ධව පවත්වා ගෙන යන තේ ශක්ති රක්ෂණ අරමුදල ආශ්‍රිතව සිදුව ඇති රුපියල් කෝටි ගණනාවක මුදල් වංචා සම්බන්ධයෙන් කොතෙක් දැනුවත් කළද අදාළ බලධාරීන් මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බව මධ්‍යම පළාත් තේ ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති දඹගොඩ සෙනෙවිරත්න පවසයි.
කුඩා තේවතු හිමියන් ලක්ෂයකට ආසන්න පිරිසක් විසින් තම දරුවන්ගේ පංචායුධය, බිරියගේ අරුන්ගලය උකස් කරමින් වසර 25කට පෙර ආරම්භ කළ කුඩා තේ ශක්ති අරමුදලේ මේ වන විට රුපියල් කෝටි 50කට ආසන්න මුදලක් තිබිය යුතු වුව ද අදාළ වගකිවයුතු කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මේ ප්‍රශ්න කිරීම් සම්බන්ධයෙන් දිගින් දිගට ම මුනිවත රකින බව ද හෙතෙම කීය.
මාධ්‍ය හමුවේ වැඩිදුරටත් අදහස් පළ කළ දඹගොඩ සෙනෙවිරත්න මහතා මෙසේ ද පැවැසීය.
“මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට හැත්තෑපහක් පමණ නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමියන් ලක්ෂ පහක් පමණ ඉන්නවා. ඒ අතරින් තේ ශක්ති රක්ෂණ අරමුදලේ කොටස් මිලදී ගත් සාමාජිකයන් ලක්ෂයක් පමණ ආයෝජනය කළ රුපියල් කෝටි ගණනාවක මුදලක් ආගිය අතක්වත් මේ වනවිට හොයාගන්න නෑ. මේ සම්බන්ධයෙන් තොරතුරු විමසා අදාළ බලධාරීන් හට වාචිකව මෙන්ම ලිඛිතව කොතෙක් ඉල්ලීම් කළද මේ දක්වා කිසිදු හෝ පිළිතුරක් ලැබිලා නෑ. මේ අරමුදලෙ සල්ලි කෝටි ගණනින් වංචා කරලා තියෙනවා.
කුඩා තේ වතු ගොවීන්ගේ සමස්ත ලංකා සංවිධානයේ සභාපති වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු මෙම අරමුදලේ මුදල් රුපියල් ලක්ෂ 43ක් අවභාවිත කරමින් තේ පොහොර ලබාගෙන තිබුණත් වසර 10ක් ගිහිල්ලත් ඒ මුදල් තව ම අය කරගෙන නෑ. මෙම අරමුදලට දායකව සිට වයස අවුරුදු 70ක් ඉක්මවූවන් සඳහා රුපියල් 5,000ක් බැගින් ගෙවිය යුතු පාරිතෝෂික මුදල්වලින් තේ ශක්ති අරමුදලේ හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු රුපියල් ලක්ෂ 37ක මුදලක් වංචනිකව ලබාගෙන තියෙනවා. ඒ ලබා ගත්තේ කොහොම ද කියලා අපි කිහිප විටක් ප්‍රශ්න කළා. උත්තර නෑ.
මේ අරමුදලෙන් මුදල් ලබා ගැනීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි නියෝග, ගණකාධිකාරි හා අධ්යක්ෂ මණ්ඩල අනුමැතිය අනිවාර්යයෙන් ම අවශ්‍යයි. එහෙම අනුමැතිය නැතුව මේ සල්ලි ගත්තෙ කොහොම ද? ඊට අමතරව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය මගින් කිසිදු ප්‍රමිතියකින් තොර මුල්ලු 16,000ක් රුපියල් 2,750 ගාණේ මිලදීගෙන තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 44ක් වැය කොට තිබෙනවා. ඒත් අපි සොයා බලනකොට ඒ මුල්ලුවක වෙළෙඳ වටිනාකම රුපියල් 1,200ක් පමණ වන බව දැනගන්න ලැබුණා.
එතකොට මේ අය එක මුල්ලුවකින් රුපියල් 1,550ක් කොමිස් අරගෙන තියෙනවා. ඒ කොමිස් මුදල විතරක් රුපියල් මිලියන 25කට ආසන්නයි. තේ ගොවීන්ට කිසිදු හෝ ආකාරයකින් මුල්ලු අවශ්‍ය වෙන්නේ නෑ. අපි ඉල්ලලත් නෑ. පිහියක් හෝ උදැල්ලක් දුන්නොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. අපි මේ මුල්ලු ප්‍රතික්ෂේප කළත් වසර 4කට පමණ පෙර මිලදීගෙන ප්‍රධාන කාර්යාලයේ ගොඩ ගසා ගෙන සිටි මුල්ලු තොගය පසුගිය දා තේ ගොවීන්ට බෙදලා දුන්නා. ඒවා කිසිම වැඩකට ගන්නේ නැතිව පැත්තකට දාලා තියෙනවා.
මේ තේ ශක්ති අරමුදලේ මුදල් වැය කරමින් තේ කර්මාන්ත ශාලා 14ක් මිලට ගත්තා. ඒ තේ කර්මාන්ත ශාලා සමහර ඒවා පෞද්ගලික අංශවලට බදු දීලා, එහෙම නැත්නම් විකුණලා දාලා. ඒ මුදල් කෝ. මේ තේ ශක්ති රක්ෂණ අරමුදලට දායක වූ අයට කිසිදු හෝ විධිමත් ප්‍රතිලාභයක් නෑ. කෝටි ගාණක මුදල්වලට වෙච්ච දෙයක් නෑ. මීට අමතරව ශක්ති රක්ෂණ අරමුදල ආශ්රයෙන් දැවැන්ත වංචා, දූෂණ රැසක් සිදුව ඇති බවට අපට හෙළි වෙලා තියෙනවා. මෙම වංචා, දූෂණ සම්බන්ධයෙන් වගකිවයුත්තන් වෙත වසර ගණනාවක සිට කොතෙක් පැමිණිලි කළද අදෘශ්‍යමාන දේශපාලන හස්ත අතපෙවීම් හේතුවෙන් මේ දක්වා වංචා, දූෂණ පිළිබඳව කිසිදු හෝ පියවරක් ගෙන නෑ.
මම මධ්‍යම පළාතේ තේ ගොවීන් සුරැකීමේ සංවිධානයේ සභාපති ධුරය වගේම මහනුවර දිස්ත්‍රික් කුඩා තේ වතු සංවර්ධන සමිති සංවිධානයේ සභාපති වශයෙන් වසර ගණනාවක් කටයුතු කළා. මේ වංචා, දූෂණ හෙළි කළා. පසුගියදා කුඩා තේවතු සංවර්ධන ප්‍රාදේශීය සංවිධානයේ නිලවරණය තිබුණා. එහිදී ඇතැම් තේ පරීක්ෂක නිලධාරීන් යොමුකොට එමගින් සමිති සාමාජිකයන් මෙහෙයවා විසමාචාර අයුරින් නිලවරණය පවත්වා මා එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් මා මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා. කුඩා තේ ගොවීන්ට සිදුව තිබෙන අසාධාරණකම් හෙළි කිරීම තමයි ඊට හේතුව වෙලා තියෙන්නේ. මොන තනතුරකින් ඉවත් කළත් මේ වංචා, දූෂණ හෙළි කර ගන්න දිවිහිමියෙන් කටයුතු කරනවා.”