දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ යෝජනාව තමාට ලැබීමට සලස්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.
ඒ අනුව දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4000ක් පමණ පොලිස් සේවයේ සිටින බව අනාවරණය වී ඇත.
මේ පිළිබඳ අවධානය යොමු වූයේ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (ඔක්. 20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
පැමිණ සිටි මන්ත්‍රීවරුන් මෙහිදී පැවසුවේ, යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් පොලිස් සේවයේ සිටින බවත් ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරිවල නොයෙදෙන බවත් ය.
ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවන්ගෙන් නොපෙළෙන නමුත් ඒ නිසා නිරතුරුව ම රාජකාරිය නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.
මේ අනුව පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ, සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් 4,000ක් පමණ මේ වන විටත් පොලිස් සේවයේ සිටින බවයි.
මෙහිදී ටිරාන් අලස් අමාත්‍යවරයා උපදෙස් දුන්නේ. සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව අවශ්‍ය යෝජනාව පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යංශයට යොමු කරන ලෙසයි.
ඒ අනුව, ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
එසේ ම, මෙම වසරේ පොලිස් නිලධාරීන් විශාල පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරීන් 16,000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බව ද පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය.
තව ද පොලිස් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳව වාර්තා වී ඇති සිද්ධි පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
එසේ ම, ඉන්ටර්නෙට් භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු විය.
අන්තරායකාරක ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවල වර්තමාන තත්ත්වය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.
- අනුරාධා හේරත්, සඳුනි ගමාරච්චි