පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අවන්හලේ හා ස්ථාන කිහිපයක ආරක්ෂිත CCTV කැමරා ස්ථාපිත කිරීම සිදුකරන අවස්ථාවේ ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණ එම කාර්මිකයන්හට තර්ජනය කරමින් පලවා හැර ඇතැයි ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායක පවසයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඊයේ (26දා) ප්‍රකාශයක් කරමින් පීඨාධිපතිවරයා කියා සිටියේ 25 දින ශිෂ්‍ය කණ්ඩායමක් පැමිණ CCTV කැමරා සවි කිරීම පිළිබඳව විරෝධය පළ කරමින් තර්ජනය කොට අදාළ කාර්මිකයන් පලවා හැරීමට පියවර ගෙන ඇති බවය.
කෙසේ වෙතත් කැමරා පද්ධතිය සවි කිරීමේ කටයුතු යළි ඇරැඹූ බවත් එම කටයුතු සිදුකරන කාර්මිකයන්ට සහාය දෙමින් ආචාර්ය මණ්ඩලය එම ස්ථානවල රැඳී සිටින බවත් හෙතෙම කියා සිටියේය.
මාධ්‍ය හමුවේ තවදුරටත් අදහස් පළ කළ ඔහු මෙසේද කීය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය කණ්ඩායමක් තවත් ශිෂ්‍ය කණ්ඩායමකට නිදහසේ අධ්‍යාපන කටයුතු කිරීමට ඉඩ නොදී පහරදීම් සහ විවිධ අඩන්තේට්ටම් සිදුකළා. නවක වදයට එරෙහි වූ සිසුනට තමයි මේ පහරදීම සිදුවුණේ. ඔවුනට ආපනශාලාවේ ආහාර ගැනීමට, පුස්තකාලය පරිහරණය කිරීමට හෝ පොදු ස්ථාන පරිහරණය කිරීමට මේ අය ඉඩ දුන්නේ නෑ. ඒ නවක වදයට එරෙහි වෙලා ශාස්ත්‍ර පීඨයේ ආචාර්යවරුන් අධ්‍යාපන කටයුතුවලින් ඉවත් වුණා. නමුත් ශාස්ත්‍ර පීඨය මේ
ආකාරයෙන් වසා දැමීම සිසුන්ට කරන අසාධාරණයක් බැවින් නැවතත් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට පෙර මෙම අසාධාරණයට ලක්වූ සිසුන්ගේ පොදු අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මූලික කොට ගනිමින් ආපනශාලාවේ හා විශේෂිත ස්ථාන කිහිපයක ආරක්ෂිත කැමරා සවි කරන්න විශ්වවිද්‍යාල පාලනාධිකාරිය හා අධ්‍යයන – අනධ්‍යයන කාර්ය මණ්ඩල තීරණය කොට ඒ සඳහා පෞද්ගලික අංශයේ සමාගමකට මේ කටයුත්ත භාර දුන්නා. ඒ අය මේ සවිකිරීම් සිදු කරමින් සිටියදී 25 දින පැමිණි සිසුන් කණ්ඩායමක් ඊට එරෙහිව කාර්මික නිලධාරීන්ට තර්ජනය කොට හා පහරදීමට උත්සාහ කොට විශ්වවිද්‍යාලයෙන් පලවාහැරීමට කටයුතු කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ ශිෂ්‍යා කියා සිටියේ කැමරා සවි කරමින් සිටි කාර්මිකයන් පලවා හැරි බවට සිදුකරන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවය. මෙම කැමරා සවි කරමින් සිටි කාර්මිකයන් අසලට ගොස් ඒ සම්බන්ධයෙන් විමසීමක් කිරීමට පමණක් ශිෂ්‍යයන් කටයුතු කළ බවද හෙතෙම වැඩිදුරටත් කීය.
මහනුවර – කේ.එල්. සුරවීර