22 වන පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනය නීතියට අනුකූල නොවන බව ත් ශ්‍රේෂ්ඨාධිකරණය ගෙදර යා යුතු බවත් කියමින් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පාර්ලිමේන්තුව හා අධිකරණය අතර බලවත් ගැටීමක් නිර්මාණය කිරීමට උත්සහ දරා ඇති බවට චෝදනා කරමින් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ කතානායකවරයාට ලිපියක් යොමු කර ඇත.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවකින් තොරව අධිකරණය පිළිබඳ හෝ විනිසුරුවරුන් පිළිබඳ විවේනය නොකළ යුතු යැයි ද එනිසා මෙම ප්‍රකාශය ගැන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන්නැයි ද අධිකරණ ඇමැතිවරයා තම ලිපියෙන් කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමති විජයදාස රාජපක්ෂ විසින් යොමු කරන ලද එම ලිපිය මෙසේ ය.
“2022 ඔක්තෝබර් මස 20 වන දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පත (21 වන සංශෝධන පනත) විවාදයට ගත් අවස්ථාවේදී පාර්ලිමේන්තුමන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. සුමන්තිරන් මහතා විසින් සිය අදහස් ප්‍රකාශ කරමින් එකී පනත් කෙටුම්පත සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද නිගමනය (determination) නීතියට අනුකූල නොවන බ වත්, ශ්‍රේෂ්ඨාධිකරණය වරින් වර නීතිමය ස්ථාවරයන් වෙනස් කරමින් සිය නිගමන නිකුත් කරන බව ත්, එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය ද ගෙදර යැවිය යුතු බවත්, ප්‍රකාශ කරන ලද බව ඔබතුමා ද නිරීක්‍ෂණය කර ඇතැයි විශ්වාස කරමි. ඔහු විසින් කළ එම ප්‍රකාශයන් තුළින් ඍජු ලෙස සහ ව්‍යංගාර්ථයෙන් සඳහන් කරන්නට යෙදුණේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලබන තීන්දු එනම් කාරණයක් සම්බන්ධයෙන් පරස්පර විරෝධී තත්ත්වයන් ගන්නා බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලබන තීන්දු විශ්වාස නොකළ යුතු බව ත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්ම ද අනවශ්‍ය බවත් යනාදී වශයෙනි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස ඉදිරිපත් කරනු ලබන යෝජනාවකින් තොරව අධිකරණය පිළිබඳ හෝ විනිසුරුවරුන් පිළිබඳ විවේචනය කිරීම නොකළ යුතු ය.
එකී මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව හා අධිකරණය අතර බලවත් ගැටීමක් නිර්මාණය කිරීමට උත්සහයක් දරා ඇති බව පැහැදිලි වන අතර එකී මන්ත්‍රීවරයා ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් කරන ලද එම ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් නොකළ යුතුව තිබූ අයෝග්‍ය ප්‍රකාශයක් බව ත්, එමගින් ශ්‍රේෂ්ඨාකරණය ඇතුළු අධිකරණ පද්ධතිය පිළිබඳ ජනතාව තබා ඇති විශ්වාසය බරපතළ ලෙස පළුදු වී ඇති බවත්, එම තත්ත්වය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බලවත් තර්ජනයක් වී ඇති බවත් ප්‍රකාශ කරන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ ජනාධිපති නීතිඥවරයෙකු වශයෙන් එවැනි ප්‍රකාශ පාර්ලිමේන්තුව තුළ වුවද සිදු කිරීම සමාජයට දෙනු ලබන ඉතා නරක පූර්වාදර්ශයක් බවත් සඳහන් කරමි.
අනෙක් අතට පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාදවලට මුවාවී එකී මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කිරීම තුළ මුළුමහත් පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලු ම මන්ත්‍රී වරුන් පිළිබඳ ජනතාව තුළ අප්‍රසාදයක් හා පිළිකුලක් ජනිත වන හෙයින් එය මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩකිරීමක් ලෙස සැලකිය හැකිය.
එකී කරුණු අනුව ඔහුගේ ප්‍රකාශය පිළිබඳ කරුණු සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
2
(අ). කතානායකවරයා විසින් කාරක සභාවේ සභාපතිවරයා සහ සාමාජික මන්ත්‍රීවරයන් නම් කළ යුතුය සහ
(ආ). පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 101 හි විධිවිධානයන් ප්‍රකාරව කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් විසි එක් දෙනකුට (21) නොවැඩි විය යුතු ය.
- එම කාරක සභාවට –
(අ). සිය ගණපූර්ණය නියම කර ගැනීමට ද;
(ආ). ඉහත සඳහන් කරුණු සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකිරීම සඳහා කාරක සභාව විසින් අවශ්‍ය යැයි තීරණය කරනු ලබන පරිදි, ඕනෑ ම තැනැත්තෙකු එම කාරක සභාවට ඉදිරියට කැඳවීමට ද, ඕනෑ ම ලියකියවිල්ලක් හා වාර්තාවක් ලබාදෙන ලෙසට ඕනෑ ම තැනැත්තෙකුට නියම කිරීමට ද, එකී සියලු සාක්‍ෂි ලිඛිතව, වාචිකව ලබා ගැනීමට ද;
(ඇ). කාරක සභාවේ සහාය පිණිස අදාළ ක්‍ෂේත්‍රයන්හි විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගේ සහ ප්‍රවීණයන්ගේ සේවය ලබා ගැනීමට ද සහ
(ඈ). කලින් කළ අන්තර්වාර වාර්තා ඉදිරිපත් කිරීමට ද පාර්ලිමේන්තුව කල් තැබුණු ලැබ හෝ වාරාවසාන කරනු ලැබ තිබුණ ද රැස්වීම් පවත්වාගෙන යාමට ද බලය තිබිය යුතු ය.
- කාරක සභා වාර්තාවේ එහි පළමු රැස්වීම් දිනයේ සිට මාස තුනක (3) කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාලපරිච්ඡේදයක් තුළදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.”