Home Local News Room : වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම...

News Room : වයස 5ට අඩු දරුවන් සිටින මවුවරුනට රට රැකියා තහනම යළි ගේන්න

2
0

විදෙස් රැකියා සඳහා පිටත්වන ශ්‍රී  ලාංකික මවුවරුන්ට සිය දරුවන්ගේ වයස අවුරුදු පහේ සීමාව ඉක්මවා තිබීම අනිවාර්ය කිරීමේ නීතිය නැවත පනවන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව ළමා හා කාන්තා රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ ‘මව්බිම’ට පැවැසුවාය. ඒ අනුව ලබා දී තිබුණු අවසරය නැවත වරක් සංශෝධනය කරන්නට කටයුතු කරන බව  රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ පැවැසුවාය.

ළමා අයිතිවාසිකම් හා සුරක්ෂාව සම්බන්ධයෙන් ළමා හිමිකම් සංවිධාන හා විද්වතුන් දැක්වූ අදහස් හා යෝජනා සලකා බලා මෙම සංශෝධනය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලද බවත් ඇය සඳහන් කළාය.  ගෘහ සේවය සඳහා විදේශගත වන මවුවරුන්ගේ දරුවන්ගේ අවම වයස අවුරුදු 02 දක්වා අඩු කිරීම‍ට හා එතෙක් අත්‍යවශ්‍යව පැවැති පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කිරීම තවදුරටත් අනිවාර්ය නොකිරීමටත් පසුගිය ජුනි මස 27 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබිණි.

එසේම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනයේ ප්‍රධානතම භූමිකාව සිය මව වන බැවින් පළමු වසර 05 තුළ දරුවන්ගේ ප්‍රශස්ත කායික හා මානසික සංවර්ධනයට අහිතකර බලපෑම් එල්ල වන බවත් ඇමැතිනිය සඳහන් කළාය. 

ඒ අනුව වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන්ට ගෘහ සේවය සඳහා විදේශගත වීමට අවස්ථාව දීම පිළිබඳවත් එසේ විදෙස්ගත වන මවුවරුන් විසින් ඉදිරිපත් කළ යුතුව තිබූ පවුල් පසුබිම් වාර්තාව අනිවාර්ය නොකිරීම පිළිබඳ තීරණය නැවත සංශෝධනයට කඩිනමින් පියවර ගන්නා බවත් ඇය වැඩිදුරටත් පැවැසුවාය.

මිතුන් ජයවර්ධන

පෙර ලිපියඉදිරි සති දෙකේදී භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවතට!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here