Home Local News Room : ජීවන වියදම ඉහළ යද්දී සැප්තැම්බරයේ උද්ධමනයත් 73.7%ට නඟී

News Room : ජීවන වියදම ඉහළ යද්දී සැප්තැම්බරයේ උද්ධමනයත් 73.7%ට නඟී

0
0

ශ්‍රී  ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මඟින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය.

වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 84.6හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 85.8 දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 57.1හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 62.8 දක්වා ඉහළ ගියේය.

මෑතකාලීනව පෙන්නුම් කළ මාසික උද්ධමනයෙහි පහළ යෑම 2022 සැප්තැම්බර් මාසයේදීද දක්නට ලැබිණි. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසයේදී ජා.පා.මි. දර්ශකයෙහි මාසික වෙනස සියයට 2.34ක් වූ අතර, ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, සියයට 1.96කින් සහ සියයට 0.38කින් ඉහළ යෑම මේ සඳහා හේතු විය. ආහාර

නොවන කාණ්ඩය තුළ 2022 සැප්තැම්බර්  මාසයේදී, නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (විදුලි ගාස්තු, භූමිතෙල් සහ ජල ගාස්තු) හා විවිධ භාණ්ඩ සහ සේවා යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. මේ අතර, ආහාර කාණ්ඩය තුළ, පලතුරු, තිරිඟු පිටි සහ කුකුළු මස් මිල ගණන් ඉහළ යන ලදී. එසේ වුවද, සහල්, සීනි සහ පරිප්පු මිල ගණන් 2022 සැප්තැම්බර් මාසයේදී පහළ ගියේය.

තවද, වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 31.3හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 36.9 දක්වා ඉහළ ගියේය. ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 60.5හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 64.1 දක්වා ඉහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවැති සියයට 26.0හි සිට 2022 සැප්තැම්බර් මාසයේදී සියයට 31.0 දක්වා ඉහළ ගියේය.

ළහිරු ධනංජය පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here