Home Local News Room : “වයස 12ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි” – රුහුණ...

News Room : “වයස 12ට අඩු දරුවන් මහණ නොකළ යුතුයි” – රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි

1
0

විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාළ නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමියෝ ‘මව්බිම’ට පැවසූහ.

කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතා ම ළාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු ‍ෙදාළහ ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු යැයිද නා හිමියෝ අවධාරණය කළහ.

යම් දරුවෙකු ගුරු හාමුදුරුනමක් යටතේ පැවිදි දිවියට ඇතුළත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ සාමණේර හිමියන් රැකබලා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බව ද උන්වහන්සේ පැවැසූහ.

කුඩා දරුවෙකු මහණ කර ගත්තේ නම් මාතෘ පීතෘ ස්නේහයෙන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බව එය වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ යුතුකමක් සහ වගකීමක් බවත් නා හිමියෝ අවධාරණය කළහ.

බුදුන් වහන්සේගේ සමයෙහි පවා මෙවන් දුශ්ශීල හිමිවරුන් සිටි බව ත් උන්වහන්සේ කීහ.

භික්ෂුන් වහන්සේගේ විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විවිධ සිද්ධි අරබයා නොයෙක් අවස්ථාවල විනය සිල්පද පැනවුණු බව ද නා හිමියෝ සඳහන් කළහ.

අදටත් ශාසනයෙහි විනය කඩ කරන දුශ්ශීල භික්ෂුන් වහන්සේ සිටින බව ද උන්වහන්සේ සිදු කරන විනය විරෝධී ක්‍රියා නියාමනය වීමක් සිදු නොවන බව ද නන්ද නා හිමියෝ පැවසූහ.

ඒවා නිකාය මූලස්ථාන හරහා නියාමනය වීමක් සිදුවිය යුතු වුවත් එවන් කාර්යයක් නිකාය මූලස්ථානවලින් සිදු නොවන බවට උන්වහන්සේ චෝදනා කළහ.

එවන් නියාමනය වීමක් සිදු නොවන නිසා නීතියේ පිහිට පැතීමට සිදුව ඇතැයි ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

සාමණේර හිමිවරුන්ට ද ළමා අයිතිවාසිකම් හිමි බව නා හිමියෝ කීහ.

විනය පොතේ උගන්වා ඇති අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ විනය ආරක්ෂා කරනවා නම් මෙවන් සිදුවීම් වාර්තා නොවන බව ද උන්වහන්සේ තවදුරටත් අවධාරණය කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here