පුද්ගලයෙක් හට ශරීර සුවතාව ඉතාම වැදගත් දෙයක් වේ. ක්‍රීඩාවද පුද්ගලයකුගේ ශාරීරික සුවතාව පවත්වාගෙන යෑමට ඉවහල් වේ. ඒ අතර හෘදවාහිනී පද්ධතිය ශක්තිමත් කිරීමටත් මාංසපේශි විඳ දරා ගැනීම වැඩි කිරීමට උපකාරී වනවා සේම සමබරතාව සහ සම්බන්ධීකරණය වර්ධනය සඳහාද ප්‍රයෝජනවත් වන ප්‍රසන්න ක්‍රියාකාරකමක් වශයෙන් ස්කේටිං හ¾දුනාගත හැකිය.
මෙය බොහෝ රටවල ක්‍රීඩාවක් ලෙසත් විචිත්‍ර නර්තන හැඩයන්ගෙන් යුක්ත වූ කලාවක් ලෙසත් ජනප්‍රිය වී ඇත. මෙවන් ක්‍රියාකාරකම් සඳහා යොමු වන්නෝ ද දුර්ලභ වෙති. ඒ අතරින් මෙවර her අතිරේකයේ අවධානය ස්කේටිං ක්‍රීඩාව සිදු කරන ක්‍රීඩිකාවක් ගැනයි. ඇය නමින් කේ. ඩබ්. ඒ නෙහංසා මෙතුකිලයි. ඇයගේ තොරතුරු බෙදාගන්නට මෙලෙස එක් විය. ද මේ දිනවල ඔබේ වැඩකටයුතු කෙසේද සිදු වන්නේ?
මේ දිනවල මම පාසලේ ඉගෙනීම් කටයුතුයි, රෝලර් ස්කේටිං පුහුණු කටයුතුයි, මලල ක්‍රීඩා කටයුතුයි සිදු කරනවා. ඊට අමතරව කලාප මලල ක්‍රීඩා සහ බ්ධඩද ඊචපඡඥබ මලල ක්‍රීඩා තරග සඳහාද සහභාගි වුණා.
– ස්කේටිං ක්‍රීඩාවට යොමු වුණේ කොහොමද?
2017 වර්ෂයේදී පාසලෙන් තමයි මම ස්කේටිං ක්‍රීඩාව ආරම්භ කරන්නේ. මම මේ වනවිට ස්කූටි, රෝලර් ස්කේටිං සහ ස්කේට් බෝඩ් ක්‍රීඩා කරනවා.
– ස්කේටිං ගැන විස්තර කළොත්?
ස්කේටිං ක්‍රීඩාව බොහෝ රටවල ප්‍රචලිත ක්‍රීඩාවක්. ඒ වගේම බොහෝ කාලයකට පෙර ආරම්භ කළ ක්‍රීඩාවක්. මෙහි අයිස් ස්කේටිං, රෝලර් ස්කේටිං තිබෙනවා. මුලින්ම මෙය රෝද භාවිතයකින් තොරව තමයි සිදු කරලා තිබෙන්නේ. ලීයක් භාවිත කරමින් අයිස් මත තමයි මුලින්ම ස්කේටිං සිදු කරලා තිබෙන්නේ. පසුකාලීනව ඊට රෝද සවි කරමින් රෝලර් ස්කේටිං ලෙස නිර්මාණය කරලා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ජාතික රෝද සපත්තු සංගමය යටතේ ස්කේටිං ක්‍රීඩාව පවත්වාගෙන යනවා.
– ස්කේටිං ගැන සමාජ දැනුවත්භාවය කෙසේද?
ගොඩක් දෙනෙක් දැකලා නැති ක්‍රීඩාවක් වුණත් බොහෝදෙනා ස්කේටිං ක්‍රීඩාව දකින විට කැමැත්තක් දක්වනවා. නමුත් සමාජයේ ජනප්‍රිය ක්‍රීඩාවක් නෙවෙයි. අනෙක් ක්‍රීඩා සමඟ ගත් විට ස්කේටිං ක්‍රීඩාව ගැන සමාජ දැනුවත්භාවය අඩුයි. අනුරාධපුරය, කුරුණෑගල, නුවර, ගම්පහ, පුත්තලම, කොළඹ යන ප්‍රදේශවල දැනට ස්කේටිං ක්‍රීඩාව සිදු කරනවා.
– ස්කේට් බෝඩ් එක ගැනත් විස්තර කරමු?
ස්කේට් බෝඩ් එක මත ක්‍රීඩාව බොහෝ රටවල ප්‍රචලිතයි. නමුත් ස්කේට් බෝඩ් එක මත ක්‍රීඩා කරන්න ආරම්භ කළේ ළඟදී. මම ළඟදී තිබුණු ස්කේට් බෝඩ් මත ක්‍රීඩා තරගාවලි සඳහාත් සහභාගි වුණා. මට පුහුණුවීම් කටයුතු සිදු කරන නීල් සර්ගෙන් තමයි ස්කේට් බෝඩ් එක මත ක්‍රීඩා කරන්න මුලින්ම පුහුණු වුණේ. 2022 වර්ෂයේ සමස්ත ලංකා පාසල් රෝලර් ස්කේටිං තරගාවලියේ ස්කේට් බෝඩ් champion වෙන්නත් මට හැකි වුණා.
– ස්කේටිං ක්‍රීඩාවක් වගේම කලාවක් නේද?
ඔව්. ඔලිම්පික් දිනයට, ලෝක ඇවිදීමේ දිනය වගේ දිනවල ස්කේටිං කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් සිදු කරනවා. ඊට අමතරව Queens Batton relay Common wealth games වලදීද ස්කේටිං කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් කරනවා.
– ස්කේටිං ක්‍රීඩාව පාසල්වල සිදු කරන ආකාරයත් සඳහන් කළොත්?
මේ ක්‍රීඩාව නාගරික පාසල්වල ප්‍රචලිත ක්‍රීඩාවක්. මට පුහුණුවීම් කටයුතු සිදු කරන නීල් පෙරේරා සර් මුලින්ම ක්‍රීඩාව ආරම්භ කරනවා. මම ක්‍රීඩාවට එකතු වීමට පෙර ජනාධිපති ප්‍රාථමික විද්‍යාලයේ සහ තවත් පාසල් කිහිපයක ක්‍රීඩාව සිදු කර තිබෙනවා. ඊට අමතරව තවත් පළාත්වල පුහුණුකරුවන් විසින් ඒ ඒ පාසල්වල ස්කේටිං ක්‍රීඩාව පුහුණුවීම් සිදු කරනවා.
– පුහුණුවීම් කටයුතු සිදු කරන ආකාරයත් මතක් කළොත්?
මම පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ කැලණිය පන්සල පිටුපස මාර්ගයේ. එලෙස අපට පුහුණුවීම් කටයුතු සිදු කරන්න ඉඩක් ලබාදීම සම්බන්ධයෙන් කැලණිය රජමහ විහාරයේ මහ නාහිමියන්ට ගෞරව පූර්වක ස්තූතිය පුද කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා. ඊට අමතරව නිදහස් චතුරස්‍රය, නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ පුහුණුවීම් කටයුතු සිදු කරනවා. ස්කේටිං ක්‍රීඩාවේ පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ ජාතික රෝද සපත්තු සංගමය යටතේ. ජාතික පුහුණුකරු නීල් පෙරේරා මහතා යටතේ තමයි මම පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ.
– ස්කේටිංවලින් ඔබ ලබා ඇති ජයග්‍රහණ මොනවාද?
මම මේ වනවිට ලබාගත් ජයග්‍රහණ මතක් කළොත් 2017 වර්ෂයේ ශ්‍රී ලංකා ජාතික පාසල් කනිෂ්ඨ තරගාවලියේදී පැවැති වයස අවුරුදු 8න් පහළ මීටර් 100 සහාය දිවීමේ තරගයේ බාලිකා ප්‍රථම ස්ථානය දිනාගැනීම, 2021 වර්ෂයේ ජාතික කනිෂ්ඨ තරගාවලියේ වයස අවුරුදු 12න් පහළ බාලිකා රෝද සපත්තු, ස්කේට් බෝඩ්, ස්කූටි තුනෙන්ම ශූරතාව දිනා ගැනීම, 2022 වර්ෂයේ සමස්ත ලංකා පාසල් රෝද සපත්තු තරගාවලියේ වයස අවුරුදු 13න් පහළ බාලිකා ස්කූටි, ස්කේට් බෝඩ් ශූරතාව දිනා ගැනීම, 2022 වර්ෂයේ ජාතික කනිෂ්ඨ තරගාවලියේ වයස අවුරුදු 14න් පහළ බාලිකා ස්කේට් බෝඩ් ශූරතාව දිනා ගැනීම ආදී තරග ජයග්‍රහණ ලබා තිබෙනවා. ඊට අමතරව තවත් තරගවලින් මම ජයග්‍රහණ ලබා තිබෙනවා.
– ස්කේටිං සඳහා ලංකාව තුළ ඇති පහසුකම් ගැනත් සඳහන් කළොත්?
ඇත්තටම අපට පුහුණුවීම් කටයුතු සිදු කරන්න ධාවන පථයක් නොමැතිවීම තමයි තිබෙන ගැටලුව. අපේ පාසලේත් දැල්පන්දු ක්‍රීඩා පිටියේ තමයි පුහුණුවීම් කටයුතු සිදු කරන්නේ. දැනට අරුණ සර් විසින් අනුරාධපුර නගරයේ, තඹුත්තේගම නගරයේ ස්කේටිං සඳහා ධාවන පථයක් සකසා තිබෙනවා.
– පාසල් මට්ටමින් ස්කේටිං ප්‍රචලිත කිරීමට ඔබගේ යෝජනා මොනවාද?
තවදුරටත් ඉදිරියට ස්කේටිං තරගාවලි පැවැත්වීම මඟින් පාසල් මට්ටමින් ක්‍රීඩාව ප්‍රචලිත කරන්න පුළුවන්. සෑම වර්ෂයකම පාසල් තරගාවලි පැවැත්වීම සිදු විය යුතුයි.
– ස්කේටිං සිදු කිරීමේදී ශරීර සමබරතාව පවත්වා ගැනීම ඉතා වැදගත් නේද?
ඇත්තටම සමබරතාව නැති නම් රෝලර් ස්කේටිං කරන්න බැහැ. පුහුණුවීම් සිදු කිරීමෙන්ම තමයි සමබරතාව පවත්වාගෙන යෑමට හැකි වෙන්නේ.
– ඔබ සතු වෙනත් කුසලතා මොනවාද?
මම බැට්මින්ටන්, චෙස් ක්‍රීඩාව සිදු කරලා තිබෙනවා. ඊට අමතරව මලල ක්‍රීඩාවලින් ධාවන ඉසව්ව දැනට සිදු කරනවා. පාසලේ නර්තනයත් නිවේදන කටයුතුත් සිදු කරනවා. ප්‍රාථමික අංශයේදී ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා.
– විනෝදාංශ මොනවාද?
මම චිත්‍ර අඳිනවා. ගීත අහනවා. පිහිනුම් කටයුතුත් කරනවා. මම විනෝද චාරිකා යන්න කැමැති කෙනෙක්.
– ඔබේ ක්‍රීඩා කටයුතුවලට සහාය වන්නන් ගැනත් මතක් කළොත්?
මගේ පුහුණුකරු නීල් පෙරේරා මහතා ක්‍රීඩාව සංවර්ධන කරගෙන ඉදිරියට යෑමට නිරන්තරයෙන්ම සහයෝගය ලබාදෙනවා. ඊට අමතරව පාසලේ විදුහල්පතිතුමිය වන නයනා වන්නිආරච්චි මහත්මිගෙත් පාසලේ රෝද සපත්තු ක්‍රීඩාව භාරව කටයුතු කරන රතිකා ප්‍රේමතිලක ගුරුතුමියගෙත් පාසලේ අනෙකුත් ගුරුවරුන්ගෙනුත් මාගේ ක්‍රීඩා කටයුතු සඳහා නොඅඩුවම සහයෝගය ලැබෙනවා. ඒ වගේම ක්‍රීඩා කටයුතු හොඳින් සිදු කරගෙන යෑමට මගේ අම්මා, අප්පච්චි වගේම පවුලේ සියලු දෙනා නිරන්තරයෙන් දිරිය ශක්තිය ලබාදෙමින් මාගේ පසුපසින්ම හිඳිමින් සහයෝගය ලබා දෙනවා.
– ඔබේ ශරීර සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගෙන යෑමට සිදු කරන දේවල් මොනවාද?
මම දෛනික ආහාරවලට අමතරව කැඳ වර්ග ආහාරයට ගන්නවා. පෝෂ්‍යදායි එළවළු, පලතුරු ආහාරයට ගන්නවා. ඊට අමතරව ක්‍රීඩා කටයුතුවලදී ව්‍යායාම සිදු කරනවා.
– ඔබේ පාසල වගේම අධ්‍යාපන කටයුතු ගැනත් සඳහන් කළොත්?
මගේ පාසල නාවල ජනාධිපති බාලිකා විද්‍යාලය. මම ඉගෙනුම ලබන්නේ 7 වැනි ශ්‍රේණියේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරනවා.
– ජීවත් වන ප්‍රදේශය මතක් කළොත්?
මම ජීවත් වන්නේ නාවල ප්‍රදේශයේ.
– පවුලේ විස්තර කියමු?
මගේ පවුලේ මමයි, අම්මයි, අප්පච්චියි තමයි ඉන්නේ.
– අනාගත බලාපොරොත්තු මොනවාද?
ඉදිරියට තවදුරටත් හොඳින් අධ්‍යාපන කටයුතු වගේම ක්‍රීඩා කටයුතුත් සිදු කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර මට්ටමේ තරගාවලිවලට සහභාගි වෙන්නත් බලාපොරොත්තු වෙනවා.
ටී. නිපුනි සමෝද්‍යා වත්තෙගම