මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදාගනිමින් සත්ත්ව ආහාර සකසා සතුන්ට (උෟරන්ට සහ කුකුළන්ට) ආහාර පිණිස ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සහ සතුන්ට ආහාර සැකසීම සඳහා මහජන පරිභෝජනයට සුදුසු සහල් කිලෝ දසදහසකට අධික ප්‍රමාණයක් ගබඩා කර තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි තඹුත්තේගම නීරාවිය සීමාසහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමේ (රජයේ සත්ත්ව ගොවිපොළේ) කළමනාකාරිනිය, ගබඩා පාලකවරයා සහ සැපයුම් නිලධාරියා එකී චෝදනාවට වරද පිළිගත් පසුව ඔවුනට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් තිස්දහස බැගින් දඩ තඹුත්තේගම මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියම කළේය.
මෙසේ දඩ නියම වූයේ තඹුත්තේගම නීරාවිය සීමා සහිත මහවැලි සත්ත්ව ව්‍යාපාරික සමාගමේ (රජයේ සත්ත්ව ගොවිපොළේ) කළමනාකාරිනි, එම ගොවිපොළේ සැපයුම් නිලධාරි සහ එම ගොවිපොළේ ගබඩා පාලක සැකකරුවන්ටය. මෙම සැකකරුවන් සමඟ පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය භාරයට ගෙන ඇති සහල්වල සාම්පල බොරැල්ල රජයේ වෛද්‍ය රසායනාගාරයට යවා අදාළ සහල් මහජන පරිභෝජනයට සුදුසු ඒවාද නැද්ද යන්න තහවුරු කෙරෙන ඊට අදාළ වාර්තාව සහ සකසා තිබූ සත්ත්ව ආහාර තුළ මිනිස් පරිභෝජනයට සුදුසු සහල් අඩංගුද නැද්ද යන්න තහවුරු කෙරෙන වාර්තාවද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්ම අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි තඹුත්තේගම නීරාවිය රජයේ සත්ත්ව ගොවිපොළේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා වන අය, තමන්ට එරෙහිව නඟා ඇති චෝදනාවනට තමන් නිවැරැදිකරු බව අධිකරණයට දැන්වීමෙන් අනතුරුව නඩුව ලබන 21 වැනි දින යළි කැඳවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග නිකුත් කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානී බී.ඒ.සී.පී. පෙරේරා මහතාගේ උපදෙස් මත මෙම සැකකරුවන්ට එරෙහිව තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් පවරා තිබූ නඩු තුනක් යළි කැඳවූ අවස්ථාවේදීය. තඹුත්තේගම නීරාවිය රජයේ සත්ත්ව ගොවිපොළ වටලා මහජන පරිභෝජනයට සුදුසු සහල් යොදාගෙන සකස් කළ සත්ත්ව ආහාර විශාල තොගයක් සහ සත්ත්ව කෑම සැකසීම සඳහා ගබඩා කර තිබූ මහජන පරිභෝජනයට සුදුසු ඉන්දියාවෙන් මෙරටට ආනයනය කළ සහල් කිලෝ දස දහසකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් මස 9 වැනි දිනය.
අනුරාධපුර – ආනන්ද කරුණාදාස