අප රටේ දරු දැරියන්ට යහපත් අනාගතයක් ඇතිකරන්නට නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන පරිදි ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත්, ඒ සඳහා පක්ෂ පාට භේදයෙන් තොරව මවුපියන් වශයෙන් අපි සියලුදෙනාම සහයෝගය ලබාදිය යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ සභාපති පා.ම. වජිර අබේවර්ධන සඳහන් කළේය.
හංෂි නිෂි ටකුමි කරාටේ ශූරතාවලියේ 10 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගියදා (22දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබූ උත්සවයකට සහභාගි වෙමින් සභාපතිවරයා එසේ පැවැසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අබේවර්ධන මහතා,
“පසුගිය කාලය පුරාවට මේ රටේ සියලුම පුරවැසියන් විශාල අර්බුදයකට මුහුණදෙමින් සිටියා. මවුපියන් මෙන්ම මේ රටේ සිටින දරුවන් පවා ඒ නිසා දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියා. දරුවන්ට බොන්න කිරිපිටි තිබුණේ නැහැ. ගෑස් තිබුණේ නැහැ. පෙට්රල්, ඩීසල්, භූමිතෙල් තිබුණේ නැහැ.
නමුත් අද එතුමා ගත් තීන්දු තීරණ නිසා රට තිබුණු තැනින් යහපත් තැනකට පැමිණ තිබෙනවා. තවමත් යම් යම් ප්‍රශ්න තිබෙනවා. ඒවා විසඳන්නත් කටයුතු කරගෙන යනවා.
මේ රටේ දරුවන්ගේ අම්මලා, තාත්තලාට තමන්ගේ දරුවන්ට හොඳ අනාගතයක් උදාකර දෙන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් හොඳට කල්පනා කරලා වැඩ කළ යුතුව තිබෙනවා. අපි එක්සත්ව කටයුතු කරලා මේ රට ජාත්‍යන්තරය ඉදිරියේ උස්සලා තියන්න ඕනෑ කියන කාරණය වැඩිහිටියන්ට මම මතක් කරන්න කැමැතියි. උද්ඝෝෂණවලින් ඉන්ධන ලබාගැනීමට හෝ මිල අඩු කරගැනීමට නොහැකියි. ඉන් සංචාරයක කර්මාන්තයට හානියක් වෙනවා.
මේ රටේ තරුණ පරපුර අරගලයක් කළා. එයින් ලබාගත් ප්‍රතිඵල කුමක්ද? අපි යම් දෙයක් කළ යුත්තේ එයින් යමක් ලබාගන්න බලාපොරොත්තුවෙන්. අරගලයේ ප්‍රතිඵල ගෙවල් ගිනි තියන එක, ජීවිත නැති කරන එක නෙවෙයි.දැවැත්ත තාක්ෂණ දියුණුවක් එක්ක අපිත් ලෝකයත් සමඟ එකට ගමන් කළ යුතුව තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජාත්‍යන්තරය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.
අපි බෙදුනොත් ජාත්‍යන්තරය ඉදිරියේ අපි පරාද වෙයි. අනෙක් රටවල වගේ මොන දේශපාලන මතිමතාන්තරවල හිටියත් ශ්‍රී ලංකාව කියන මාතෘභූමියට මුල්තැන දෙන්න.
අනාගතය භාරගන්න ඉන්නේ අපේ දරු පරම්පරාවයි. ඔවුන් තමයි අපේ රටේ අනාගතය. දරුවන් අසමත් වුණාම චෝදනා කිරීම වැරදියි. දරුවන් අසමත් වෙන්නේ මවුපියන්ගේ වරදින්. ළමයින්ගේ හෝ ගුරුවරුන්ගේ වරදින් නොවේ. ලෝකයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා. යුනිෆෝම් ඇඳලා පාසල් යන ක්‍රමයත් වෙනස් වෙමින් පවතිනවා. දරුවන් දක්ෂතා දක්වන්නේ මොන ක්‍ෂේත්‍රයේද ඒ ක්‍ෂේත්‍රයට උපාධියක් හිමිවෙනවා. ක්‍රීඩාවට දක්ෂ නම් ක්‍රීඩා සම්බන්ධව උපාධියක් ලැබෙනවා.
ෆින්ලන්තයේ වගේ රටවල සාමාන්‍ය පෙළ හෝ උසස්පෙළ වගේ කඩඉම් විභාග නැහැ. ලංකාවේ සාමාන්‍ය පෙළ හෝ උසස්පෙළ අසමත් වුවත් ෆින්ලන්තයට ගියාම උපාධියක් අරන් එන්න පුළුවන්. ලංකාවත් ඒ අයුරින් වෙනස්විය යුතුව තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලංකාව ලෝකය ඉදිරියෙන් ඔසවා තබන්නට පුළුවන්. අපේ රට දිළිඳු ජාතියක් විධියට ලෝකයට ඒත්තු ගන්වන්නට ඇතැම් පිරිස් උත්සාහ කළා. තිබුණු යථා තත්ත්වයට වඩා තවත් බරපතළ ප්‍රශ්න තිබෙන බවට ඇතැමුන් ජාත්‍යන්තරයට පෙන්වන්නට උත්සාහ කළා. තවමත් කරනවා. ඒවා අපි පරාජය කළ යුතුයි.
ලංකාව දියුණු කරන්නට නම්, ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට නම්, අපේ දරුවන්ට යහපත් අනාගතයක් ඇතිකරන්නට නම් ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි. ඒ ජාතික ප්‍රතිපත්තිය අවුරුදු 25කට වෙනස් කළ නොහැකි එකක් විදිහට සකස් කළ යුතුයි. එය පාර්ලිමේන්තුවේ නීතිගත කළ යුතුයි.
මේ රට අපේ දරු පරපුරට ලස්සන රටක් හැටියට උරුම කර දෙන්නට අප සියල්ලන් එකමුතුව කටයුතු කළයුතුයි. රටට එරෙහි සියලුම කටයුතු හා කුමන්ත්‍රණ පරාජය කළ යුතුයි කියා මා කියන්න කැමැතියි.”
සඳුනි ගමාරච්චි