යාල වනෝද්‍යානයේදී වන සතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
යාල වනෝද්‍යානයේදී වන සතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු පුද්ගලයින් සම්බන්ධව වහා ම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව, එසේ කටයුතු කළ පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන් ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බැවින් එම පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර ප්‍රකාශ කර ඇත.
මෙම පුද්ගලයින් කිසිවෙක් විශේෂ අනුග්‍රහයක් යටතේ යාලට ගිය පිරිසක් නොවන අතර ඔවුන් සාමාන්‍ය සංචාරකයින් පිරිසක් බව ද වනජීවී දෙපාර්තමේන්තුව පැවසීය.