තමාගේ පෞද්ගලික ගණිත පන්තියට සහභාගි නොවීම හේතුවෙන් කෝපාවිෂ්ටව තෙල්දෙණිය ප්‍රදේශයේ පාසලක අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකට ගණිත ගුරුවරයෙකු අමානුෂික ලෙස පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිසුවියගේ මවුපියන් විදුහල්පතිවරයාට සහ පන්ති භාර ගුරුවරයාට පැමිණිලි කර තිබේ.
එම ගුරුවරයා පසුගිය 19 වන දා සිසුන් ඉදිරිපිටදී අමානුෂික ආකාරයෙන් මෙම සිසුවියගේ හිසට පහර එල්ල කොට ඇති බව සඳහන් වන අතර ඒ හේතුවෙන් දැරිය නිවෙසේදී රෝගී තත්ත්වයට පත්ව ඇති බව ද සඳහන් වේ. ඇය හයවන ශ්‍රේණියේ සිට නවවන ශ්‍රේණිය දක්වා පහරදීම කළ බව කියන ගුරුවරයාගේ පෞද්ගලික ගණිත පන්තියකට සහභාගි වී ඇත. එහෙත් පසුගිය කොරෝනා සමයේ ඔන්ලයින් ඔස්සේ එම ගුරුවරයා පන්ති නොපැවැත්වීම නිසා සිසුවිය වෙනත් ගුරුවරයෙකුගේ ඔන්ලයින් පන්තියකට සහභාගි වී ඇති බව සඳහන් වේ.
කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය වීමෙන් පසු යළිත් අදාළ ගුරුවරයා පෞද්ගලික පන්ති ආරම්භ කර ඇති නමුත් පහර කෑමට ලක්වූ සිසුවිය එම පන්තියට නොයා කොවිඩ් සමයේ ඔන්ලයින් ඔස්සේ පන්ති පැවැත්වූ ගුරුවරයාගේ පන්තියට දිගට ම සහභාගිවී තිබීම පහර දීමට ආසන්නතම හේතුව වශයෙන් දැනගන්නට ලැබී තිබේ.
තම පන්තියට නොඑන්නේ මන්දැයි ප්‍රශ්න කර දිගින් දිගටම අදාළ ගුරුවරයා සිසුවියට නිතර තර්ජනය කොට පන්තියෙන් එළියට දමන බවත්, සිසුන් ඉදිරිපිට නිතරම ගණිත පොත විසි කරමින් බැන වදින බවත් කියමින් ඇය මානසික වශයෙන් ඇද වැටී පාසල් යෑම පවා ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත්ව ඇතැයි දැරියගේ පවුලේ සාමාජිකයෝ පවසති.
පහරකෑමට ලක්වූ සිසුවිය අධ්‍යාපන කටයුතුවලට ඉහළ දක්ෂතා දක්වන අතර ඇය වාර විභාගවලදී දෙවැනි හා තුන්වන ස්ථාන ලබා ගන්නා බව ද දැරියගේ පවුලේ සාමාජිකාවක් ප්‍රකාශ කළාය.
ගුරුවරයා කළ පහර දීම සම්බන්ධයෙන් සිසුවියගේ මවුපියන් කළ පැමිණිල්ලකට අනුව විදුහල මගින් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදුහල් ප්‍රකාශකයෙකු පැවසූ අතර ගුරුවරයාගේ පන්තියට සහභාගි නොවන අනෙක් සිසුන්ට ද මෙම අඩන්තේට්ටම්වලට මුහුණ පෑමට සිදුව ඇති බව පාසල් සිසුවෝ පවසති.
දිගින් දිගට ම ගුරුවරායාගෙන් හිරිහැර සිදුවුණත් ගුරු ගෞරවය හේතුවෙන් දියණිය පොලිසියට පැමිණිලි කිරීමට මැලි කමක් දක්වන බව ද පහර කෑමට ලක්වූ දැරියගේ පවුලේ වැඩිහිටියෝ පැවැසූහ.
පහර දුන් බව කියන ගුරුවරයා මෙයට පෙරද ළමයින්ට අනිසි අයුරින් පහර දුන් බවට පැමිණිලි ලැබී ඇති බව විදුහලින් කළ විමසුමකදී හෙළිවූ අතර දැනට වසර හයක පමණ කාලයක පටන් අදාළ විදුහලේ සේවය කරන ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගුරුවරු කිහිප දෙනෙකුද විරෝධය පළ කර තිබේ.
මෙම පහර දීම සම්බන්ධයෙන් දැරියගෙන් හා එම ස්ථානයේ සිටි අනෙක් සිසුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවත් මේ මස 25 දින පරීක්ෂණයක් පැවැත්වෙන බව ත් විදුහල් ප්‍රකාශකයා කීය.