Home Local News Room : “ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්...

News Room : “ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසනවා” – ජනපති

4
0

අධ්‍යයන කටයුතු ආරම්භයේදී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග ඊයේ (ඔක්. 22) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ය.

රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක ප්‍රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසුහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විද්‍යාලයේ කටයුතු මෙන් ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්ව පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සිසුන් නැගූ ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දී ඇත.

මෙහිදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ අතර සිසුහු ජනාධිපතිවරයා දැනුවත් කර සිටියේ, විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.

එය පිළිගත් ජනාධිපතිවරයා සදහන් කළේ, ඒ පිළිබඳ වන විධිමත් පිළියමක් නුදුරේදී ම යෙදීමට කටයුතු කරන බවයි.

එමෙන් ම, විදෙස් අධ්‍යාපනයට වඩා දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ඇති වටිනාකම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාසල් අධ්‍යාපනය නිමා කර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බව ත් කුරුණෑගල සහ මඩකලපුව ඇතුළු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ත් පැවසීය.

තව ද කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙන ම මණ්ඩපයක් බවට පත් කිරීමට ත් ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබා දීමට ඇති අවස්ථාව පිළිබඳ කටයුතු කරන බව ත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ය.

විශ්වවිද්‍යාල නවක වධය පිළිබඳව මෙහිදී සිසුන්ගෙන් විමසු ජනාධිපතිවරයා සඳහන් කළේ, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආදී කොළඹ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වූ නමුත් නවක වධය ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවක සිටින අයුරු පෙනී යන බවයි.

එම පාසල්වලට, නවක වධය වැළැක්වීම සම්බන්ධයෙන් යුතුකමක් ඇති බව ත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට පාසල් කාලයේ සිට ම යම් වගකීම් සහගත කාර්යයක් ඉටුකළ හැකි බව ත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර බව ත් නවක වධය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බව ත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව අවධාරණය කළේ ය.

රාජකීය විද්‍යාලයේ දියුණුව සහ විද්‍යාලයේ කීර්තිනාමය වෙනුවෙන් ශිෂ්‍ය නායක මණ්ඩලය ඉටු කරන කාර්යභාරය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇගයීමට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here