ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඊයේ (20දා) වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇති නමුත් එම අබාධ තත්ත්වය බරපතළ නොවීම හේතුවෙන් සුපිරි කණ්ඩායම් 12 වටය සඳහා පැතුම් නිස්සංක එක්වනු ඇති බවද සඳහන්ය.
ඒ අනුව නෙදර්ලන්තය සමඟින් ඊයේ නිමා වූ ලෝක කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගයේදී පන්දුවට පහරදෙමින් සිටියදී ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු පන්දු රැකීම සඳහා පැමිණියේ නැත. කෙසේ වෙතත් පිතිකරණයේ යෙදෙන අවස්ථාවේදීද පැතුම් යම් අපහසුතාවකින් සිටින බව දක්නට ලැබිණි.
එසේම පූර්වාරක්ෂිත පියවරක් ලෙස ඔහු එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂාවක් සඳහා යොමු කර ඇති බව ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ දින දෙක තුනකින් ඔහුගේ ආබාධය සුවවනු ඇති බවය.
ඊයේ තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 14කට දැවී ගියද මෙයට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමඟින් පැවැති තරගයේදී ලකුණු 74ක් ලබා ගනිමින් තගරගයේ වීරයා ලෙසින් ද පැතුම් නිස්සංක සම්මාන දිනා ගත්තේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු මහින්ද හලංගොඩ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවැසුවේ මෙවැන්නකි. “එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයක් කළත් ඔහුගේ ආබාධ තත්ත්වය එතරම් ප්‍රශ්නයක් නැහැ කියලා තහවුරු වුණා. එම තත්ත්වය දින දෙක තුනකින් සුව අතට හැරේවි කියලා විශ්වාසයක් තියෙනවා. දුෂ්මන්ත චමීරට ශල්‍ය කර්මයක් සිදුකළ යුතුව තිබෙනවා. එය ඕස්ට්‍රේලියාවේදීම කිරීම සඳහා අපි සාකච්ඡා කරමින් යනවා”.
කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකා සංචිතය නියෝජනය කළ දිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර, ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් ආබාධයන් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කිරීමට සිදුව ඇති අතර, වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන්ද ආබාධයක් හේතුවෙන් ඊයේ නෙදර්ලන්තය සමඟින් පැවැති තරගයෙන් විවේකගන්වා තිබිණි.
එසේ වුවත් ප්‍රමෝද් මධුෂාන්ගේ ආබාධ තත්ත්වයද එතරම් බරපතළ නොවීම මත සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ පළමු තරගය සඳහා ඔහු සහභාගි වීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
විචිත්‍ර වීරසිංහ – මෙල්බර්න් නුවර සිට…