ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරතවීම සඳහා විදේශීය ආයෝජකයකු විසින් මීට වසර තුනකට පමණ පෙර මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි 52ක් පමණ වටිනා නෞකාවක් සම්බන්ධයෙන් මෙරට අධිකරණයක් තුළ පවතින නඩු කටයුත්තක් වසර දෙකක් තිස්සේ විභාගයට ගෙන නොතිබීම හා ඊට අදාළ නඩු තීන්දුවක් ලබා ගැනීමට නොහැකි වීම නිසා එම නෞකාව මෝදර වරාය තුළ දිරාපත්වීමේ අවදානමකට ලක්ව තිබේ. 2019 වසරේ මැයි මාසයේදී මෙරටට ගෙන්වා ලියාපදිංචි කරන ලද “සීමැක්ස්” නැමැති සමාගමකට අයත් ධීවර නෞකාවක් මෙසේ දිරාපත් වෙමින් ඇත.
නෞකාව තුළ තිබෙන විදුලි ජනන යන්ත්‍ර දෙකක් උපයෝගි කරගෙන මෙතෙක් කලක් නෞකාවට අවශ්‍ය විදුලිය ලබාගෙන ඇති නමුත් එම යන්ත්‍ර දෙක අක්‍රියවීම නිසා නෞකාවට අවශ්‍ය විදුලිය ලබාගැනීමට මෙන්ම පවතින වර්ෂාව හමුවේ ඒ තුළ එක් රැස් වන ජලය පොම්ප කරගැනීමටද නොහැකි තත්ත්වයක්ද උදාවී ඇති බව දැන ගැනීමට තිබේ.
මෙවැනි නෞකාවක් වරායකට පැමිණි පසු සේවා සපයන ජාතික විදුලි පද්ධතියට සාමාන්‍ය මුදලට වඩා වැඩි මුදලක් ගෙවා විදුලිය ලබාගැනීමට ඔවුන්ට හැකියාව ඇති නමුත් ආයෝජකයා ඒ පිළිබඳව ඉල්ලීම් කළද අදාළ බලධාරීන්ගෙන් ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබී නැත.
මෙම නෞකාව 2019 වසරේ සිට මේ දක්වා වසර තුනක කාලයක් මෝදර වරායේ එකම ස්ථානයක නැංගුරම්ලා තිබීම හේතුවෙන් එහි කොටස් දිරාපත්වී නෞකාව තුළට ජලය කාන්දුවීමේ අවදානමක්ද පැනනැඟී තිබේ.
2019 වසරේ මෙරටට ගෙන එන ලද එම නෞකාව සම්බන්ධයෙන් කූට ලේඛන සකස් කර තෙවන පාර්ශ්වයක් විසින් එය අත්පත් කර ගැනීමට කටයුතු කර තිබීම නිසා අදාළ සමාගම ඊට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇති බවද දැන ගැනීමට ඇත. වසර තුනක් තිස්සේ වැඩකට නොගෙන මෙම නෞකාව එකම ස්ථානයක නැංගුරම්ලා තිබීම නිසා එය දිරාපත්වීමේ අවදානමක් පවතින බව පැමිණිලිකාර සමාගම තමන් වෙත පැවැසූ බවත් එම නිසා ඒ පිළිබදව අධිකරණයට කරුණු දක්වා නඩුවට අදාළව ඉක්මන් තීන්දුවක් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම සමාගම වෙනුවෙන් පෙනී සිටින නීතිඥ අභිමානි රන්දෙණිය මහත්මිය පැවැසුවාය.
නෞකාව අලුත්වැඩියා කර ගැනීම සඳහා අදාළ ආයෝජකයන්ට දන්නවා ඇති බවත් එම නෞකාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට අධිකරණ නියෝගයක් තිබෙන නිසා එහි තීන්දුවක් ලැබෙන තෙක් එම නෞකාව එම ස්ථානයේ තවදුරටත් නැංගුරම්ලා තැබීමට සිදු වන බවද මේ පිළිබඳව විමසීමේදී වෙළෙඳ නැව් ගත කිරීමේ අංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම නඩුව 2020 වසරේදී මැයි මසදී කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කර ඇත.
කුමුදු උපුල් ශාන්ත