Home Local News Room : ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් ඉපැයූ කෝටි 7ක් විදගෙන මෙරටට ඇවිත්

News Room : ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් ඉපැයූ කෝටි 7ක් විදගෙන මෙරටට ඇවිත්

3
0

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලංකිකයන්ගේ ප්‍රධාන මුදල් හුවමාරු ආයතනයක් වූ ග්ලෝබල් රෙමිට් (Global Remit) ආයතනයේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ශ්‍රි ලංකා මුදලින් රුපියල් කෝටි 7ක (ශෙකල් 706,878) වටිනාකමකින් යුත් මුදලක් රැගෙන එරටින් පළා ගොස් ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති නිමල් බණ්ඩාර ‘මව්බිම‘ට පැවසීය.

මෙම පුද්ගලයා ගලිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වනවිට මෙරටට පැමිණ ඇතැයි වාර්තා වේ.

ග්ලෝබල් රෙමිට් ආයතනයේ සේවය කරමින් සිට එම ආයතනයට කිසිදු දැනුම්දීමකින් තොරව ලංකාවට පැමිණීමට පෙර ඔහු තම මවගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 40ක් බැර කර ඇති බව ත් එය ඊයේ (ජූනි 13දා) දිනයේ ගිණුමෙන් රැගෙන ඇති බව ත් වාර්තා වේ.

මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ගෙන් සීට්ටු ක්‍රමයට එකතු කර ගන්නා ලද විශාල මුදල් ප්‍රමාණයක් ද ඔහු භාරයේ තිබී ඇත.

අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියේ (Interpol) සහය ලබා ගැනීමට දැනට කටයුතු කරන බව ත් ඔහුගේ ගමන් බලපත්‍රය අක්‍රිය කිරීමට ද පියවර ගනිමින් සිටීන බව ත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති නිමල් බණ්ඩාර පැවසීය.

මෙවැනි සමාන සිදුවීමක් සයිප්‍රසයේ ද සිදු වූ අතර ශ්‍රී ලංකා වෙළෙඳසලක සිටි එහි හිමිකරු මෙවැනි සීට්ටු ක්‍රමයකට එකතු කරන ලද රුපියල් කෝටි 3ක් පමණ වටිනා මුදල් ද රැගෙන එරටින් ද පිටවී ගොස් තිබේ.

එබැවින් ඉහත ආකාරයේ මුදල් ගනුදෙනු සිදු කිරීමේදී තමන් විසින් අදාළ මුදල් හුවමාරු ඒජන්සියක් හෝ එවැනි එකතු කරන්නෙකු වෙත ලබා දෙනු ලබන්නේ නම්, එම මුදල් නිසි පරිදි තමන්ගේ ගිණුමට බැරවී ඇතිදැයි විමසිල්ලෙන් සිටිය යුතු යැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තනාපති සඳහන් කළේ ය.

සීට්ටු ක්‍රම වැනි අවිධිමත් මුදල් හුවමාරු හා මුදල් පොළියට ලබා දීම වැනි ක්‍රම හේතුවෙන් බොහෝ අක්‍රමිකතා සහ වංචාවන් සිදුවන බවට පැමිණිලි ගණනාවක් තානාපති කාර්යාලයට ලැබී ඇති බව ද ඔහු පැවසීය.

එබැවින් ඉහත ආකාරයේ අක්‍රමවත් මුදල් ගනුදෙනුවලින් වළකින ලෙස ත් තමන්ගේ ඥාතීන් හෝ වෙනත් කෙනකු එවැනි ආකාරයේ මුදල් එකතු කිරීමකට සම්බන්ධ නොවිය යුතු බව ත් ඔහු වැඩිදුරට ත් පැවසුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here