Home Politics News Room : නිර්පාක්ෂික පාලකයකු ලෙස ජනපති රනිල් මෙවර මැයි රැලියට එන්නේ...

News Room : නිර්පාක්ෂික පාලකයකු ලෙස ජනපති රනිල් මෙවර මැයි රැලියට එන්නේ නෑ සූම් තාක්ෂණයෙන් ජනතාව අමතනවා – එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

2
0

නිර්පාක්ෂික රාජ්‍ය පාලකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි දින සැමරුමට සහභාගි නොවන බව පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී ඒ මහතා මෙසේද කීය.

“මෙවර මැයි දිනය එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟපෙන්වීම සහ උපදෙස් මත සංවිධානය කරනවා. බොහෝ විට විවිධ දේශපාලන පක්ෂ නාස්තිකාර, විනාශකාරි මැයි පෙළපාළි පවත්වමින් මැයි දිනය සමරන විට එක්සත් ජාතික පක්ෂය ගතානුගතික බවින් මිදී විධිමත්ව, විනයානුකූලව, අනාගත අභියෝග ජය ගැනීම උදෙසා ‘ජය ගමු‘ යන තේමාව යටතේ මැයි දිනය ඉතා වර්ණවත් එහෙත් චාම් අයුරින් පවත්වන්න සූදානම්. ඒ වගේම රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යයෙන් සේම සමාජ මාධ්‍ය ඔස්සේත් මේ අවස්ථාවට ජනතාවට සම්බන්ධ විය හැකියි. තරුණ පිරිස් විශාල වශයෙන් සහභාගි වන දිනයක් බවට මේ මැයි දිනය පත් වේවි.

ඒ වගේම නිර්පාක්ෂික ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අවස්ථාවට සහභාගි නොවීමට තීරණය කර තිබෙන අතරම, එතුමා විශේෂ ප්‍රකාශයක් මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ලබාදෙමින් උත්සවය වර්ණවත් කිරීමට සූදානම්. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට උදෑසන 9.30 සිට මේ උත්සවය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

වැඩ කරන ජනතාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය විශාල වැඩ කොටසක් ඉටු කළා. සේවක භාරකාර අරමුදල, සේවක අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාතය ඉහළ දැමීම, කාන්තාවන් වෙනුවෙන් කිරි පැය හඳුන්වා දීම හා ප්‍රසූත නිවාඩු හඳුන්වා දීම, අවිධිමත් ලෙස සේවය කළ පිරිස් විධිමත් බවට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම,කම්කරු ආරවුල් පනත හඳුන්වා දීම, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හඳුන්වා දෙමින් වැඩ ඵලදායි වැඩ කරන පිරිසක් බිහි කිරීමට උත්සාහ ගැනීම වැනි බොහෝ කරුණු වැඩ කරන ජනතාව වෙනුවෙන් දායාද කළ පක්ෂයක් තමයි එක්සත් ජාතික පක්ෂය කියන්නේ.

මැයි දිනය පවත්වන ආකාරයෙන් දේශපාලන පක්ෂ කොපමණ දිය වෙලා ගිහින්ද යන කරුණ බලාගන්න පුළුවන්. IMF ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීමේදී ෆවුසි මන්ත්‍රීතුමා ගත් තීරණය දැකලා වත් ළපටි සජිත් ප්‍රේමදාස ඇතුළු කණ්ඩායමට යථාර්ථය අවබෝධ වුණේ නැහැ. ඒක කනගාටුවට කරුණක්.

ශිරෝමි අබයසිංහ, මැද කොළඹ සමූහ – ආරියරත්න ගණේගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here