ඉදිරි යල කන්නය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලු සහන ආණ්ඩුව මේ වන විට ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
යල කන්න වගා කරන ගොවියකුට හෙක්ටයාර් එකක් සඳහා රුපියල් 20000ක සහ හෙක්ටයාර් දෙකක් වගා කරන ගොවියකුට රුපියල් 40000ක මූල්‍ය සහනයක් ලබා දෙනවා. ආණ්ඩුව ලබා දෙන මූල්‍ය සහනයෙන් ගොවීන්ට රසායනික හෝ කාබනික පොහොර ලබාගත හැකියි. ඊට කිසිදු බාධාවක් නැහැ.
කාබනික පොහොර කියන දේ හොඳ දෙයක් මිසක් නරක දෙයක් නොවෙයි. එක සැරේ ක්‍රියාත්මක කරන්න ගිහින් අසාර්ථක වුණා. ඉන් ගොවීන් පීඩාවට පත් වුණා. එම නිසා අපි කිසිම දෙයක් බලෙන් දෙන්නේ නැහැ.





