දරුවන් ප්‍රාණ ඇපයට තබා ගන්නා කිසිදු ව්‍යාපෘතියක හවුල්කරුවන් නොවන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවැසීය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
පාස්කු දින ප්‍රහාරයේ සිට ගතවූ අවුරුදු තුනක කාලය තුළ මේ රටේ දැඩිම පීඩනයට මුහුණ දුන්නේ දරුවන් බවට කිසිදු විවාදයක් නැහැ.
ප්‍රශ්න පත්‍ර බැලීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු කරනවා. දෛනික කම්කරුවකුටවත් නොලැබෙන මට්ටමේ දීමනාවක් මේ වන විට ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන්ට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හිමි වෙනවා. එම ප්‍රශ්නයට සංවේදීව ඇහුම්කන් දෙන්නැයි ඉල්ලා සිටිනවා.
ගුරුවරුන් රාක්ෂයන් ලෙසත්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රාක්ෂයන්, බිල්ලන් ලෙස හඳුන්වන්නේ නැතුව ඔවුන්ගේ ප්‍රශ්නවලටත් සංවේදී වන ලෙස ඉල්ලා සිටිනවා. විපක්ෂයක් ලෙස ඒ සඳහා ඕනෑම මැදිහත් වීමක් සිදු කිරීමට සූදානම්.
උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර, ගුරුවරයකුට උපරිමයෙන් දවසකට පරීක්ෂා කරන්න පුළුවන් 12 සිට 16ක් දක්වා ප්‍රශ්න පත්‍ර පමණයි. සාමාන්‍ය පෙළ ගත්තොත් 16 සිට 20ක් විතරයි දවසකට බලන්න පුළුවන් වෙන්නේ. දැන් තිබෙන දීමනාව රුපියල් 175ක පමණ දීමනාවක්. සංයුක්ත දීමනාවත් රුපියල් 2000ක් විතර තිබෙනවා. දෙදනික කම්කරුවකුටවත් නොලැබෙන මට්ටමේ දීමනාවක් තිබෙන්නේ. ගුරුවරුන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ තිබෙන සාධාරණ ප්‍රශ්නයටත් සංවේදීව ඇහුම්කන් දෙන්න ඕනෑ.





