විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
ඇති නැති පරතරය අවම කර සියලු දෙනා වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන අවස්ථාවක් ලෙසත් ඊදුල් – ෆිත්ර් රාමසාන් මංගල්‍යය හැඳින්විය හැකි බව සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් විපක්ෂ නායක සහ සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් – ෆිත්ර් රාමසාන් මංගල්‍යයට ලෝකවාසී මුස්ලිම් ජනතාව එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය.
මේ උත්සවය ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් විසින් ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරයි.
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවද ශුද්ධ වූ කුරානයේ සහ මොහොමඩ් නබිතුමාගේ ඉගැන්වීම් අනුව ආගමික වතාවත් නිසි ලෙස පිළිපැදීමේ ප්‍රීතිය සමරති.
ඊද් අල්-ෆිත්ර් හෝ “උපවාසය බිඳීමේ උත්සවය” නව සඳ පළමු දර්ශනයෙන් ආරම්භ වෙයි. රාමසාන් මාසයේ උපවාසයේ යෙදෙමින් අල්ලාහ් දෙවියන් සහ බැතිමතුන් අතර සමීප සබඳතාවක් උදෙසා සුවිශේෂීම ඉඩ ප්‍රස්ථාවක් නිර්මාණය කරගැනීමත් ඒ හරහා උසස් මානව ගුණ ධර්මවල අගය සහ සත්පුරුෂ වටිනාකම් ඉස්මතු කිරීමත් බෙහෙවින්ම ප්‍රශංසා කටයුතුය. සහජීවනයෙන් සහ මානව හිතවාදී ළෙන්ගතුකමෙන් යුතුව එකිනෙකා හා ගනුදෙනු කළ හැකි නම් ලෝකය මීට වඩා අතිශයින්ම සාමකාමී වනවාට සැක නැත. ඇති නැති පරතරය අවම කර සියලු දෙනා වෙත සහෝදරත්වයේ දෑත් දිගුකරන අවස්ථාවක් ලෙසත් මේ උත්සවය හඳුන්වාදිය හැකිය.
සහජීවනය හා සමඟි සම්පන්නව නව ශ්‍රී ලාංකික දේශයක් බිහි කිරීමට මෙවැනි සංස්කෘතික සහ ආගමික උත්සවයන්ගෙන් ලැබෙන පිටුබලය අතිමහත්වේ. විශේෂයෙන්ම චිරාත් කාලයක් මුළුල්ලේ මෙරට සහෝදර මුස්ලිම් ජනතාව මව්බිමේ ප්‍රගතිය සඳහා විශාල වශයෙන් දායක වී ඇති අතර ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ මුස්ලිම්වරුන්ද කොටස්කරුවන් වේ. එය අතිමහත් ගෞරවයෙන් සිහිපත් කරන අතර මානව සංහතියේ ප්‍රගතිය උදෙසා සහ සංහිඳියාවේ මාවත උදෙසා ධෛර්යසම්පන්නව කටයුතු කිරීමේ අවශ්‍යතාව යළි සිහිපත් කරමු.





